කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගත් බවට කිසිදු දැනුම්දීමක් ලැබී නැහැ – පොලීසිය

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගත් බවට කිසිදු දැනුම්දීමක් ලැබී නැහැ – පොලීසිය

අපරාධ කල්ලි සාමාජිකයන් වන කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත යන සැකකරුවන් මැලේසියාවේ අත්අඩංගුවේ සිටිනා බවට වන කිසිදු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ හෝ ආරක්ෂක අංශ තොරතුරක් ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා.

ඒ අනුව, පසුගිය ජූලි 11 වැනිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාතික මධ්‍යම කාර්යාංශයට වෙනත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට මැලේසියාවෙන් තොරතුරු ලැබුණු බවත්, ඔවුන්ව හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ සහාය පතන බවට පණිවුඩයක් ලැබුණු බවයි අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම සැකකරුවන් දෙදෙනාගේ ඡායාරූප, ඇඟිලි සලකුණු යන සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අපරාධ ලේඛනාගාරයට යොමු කර, ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමේ අවස්ථාවක් උදාවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

ඒ අනුව, අවුරුදු 20ක එක් සැකකරුවෙකුගේ අනන්‍යතාව තහවුරු කරගත් බවත්, අදාළ සැකකරු සම්බන්ධයෙන් මැලේසියාවට දැනුම්දීමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් එරට ආගමන විගමන නීති අනුව ඉදිරි පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

COMMENTS