පුද්ගලයින්ගෙන් කටඋත්තර ගැනීම ගැන චක්‍රලේඛයක්

පුද්ගලයින්ගෙන් කටඋත්තර ගැනීම ගැන චක්‍රලේඛයක්

කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවන විට, එම පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබඳව එම පුද්ගලයා දැනුම්වත් කළයුතු ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් සකස් කර ඇති බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, එම චක්‍රලේඛය දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් කටයුතු කර තිබෙන බවයි නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ‍.

බලශක්ති විශේෂඥයෙකු වන විදුර රැළපනාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී එම දැනුම්දීම සිදුකර තිබෙන බව සඳහන්.

තමන් විසින් සමාජ මාධ්‍යයේ පළකළ අදහසක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයේ නිලධාරියෙකු විසින් දුරකථන මාර්ගයෙන් දැනුම් බවත්, පසුව තමාට එරෙහිව තිබෙන පැමිණිල්ල කුමක්ද සහ එහි අන්තර්ගත කරුණු මොනවාදැයි තමන් අදාළ පොලිස් නිලධාරියාගෙන් විමසා සිටි බවත්, ඊට පිළිතුරු ලබාදීම වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවයි පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.

එසේ තොරතුරු ලබා නොදීම තුළින් වගඋත්තරකාර පොලිස් නිලධාරින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් සිය පෙත්සම මඟින් ඉල්ලා තිබෙනවා.

නීතිපතිවරයා විසින් සිදුකළ දැනුම්දීම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බවත්, ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කළ හැකි බවත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දුන් අතර, ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

COMMENTS