ජනපතිගේ වෙසක් දින පණිවුඩය

ජනපතිගේ වෙසක් දින පණිවුඩය

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ විර්යයෙන් කටයුතු කිරීමට සියලුදෙනා හට ඇරයුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

වෙසක් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ අනුව කටයුතු කරමින් යුද ගිනිදැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව දැඩිව මතුව ඇති බව ද සිය වෙසක් පණිවිඩය මඟින් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

එමෙන්ම රටක පාලකයා දැහැමි වුවහොත් සියලු ජනයා සුවසේ ජීවත් වනු ඇති බවට ද බෞද්ධ දර්ශනයෙන් පෙන්වා දී ඇති බව ජනාධිපතිවරයා නිකුත් කළ වෙසක් දින පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

මේ අතර රට නිවැරදි පරිවර්තනයකට යොමුකරමින් සිටින අවස්ථාවක මානව සිත්සතන් සුවපත් කිරීම සඳහා වෙසක් කාලය වඩාත් සුදුසු බවට විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය පවසයි.

සිය වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් ඇය පෙන්වාදුන්නේ ඒ සඳහා එක්සිත්ව හා එක්සත්ව ඇත්වැල් බැදගැනීමට සියලුමදෙනා හට ආරාධනා කරන බවය.

මේ වනවිට අතැම් රටවල පවතින යුද ගිනිදැල් නිවී සමස්ත ලෝකවාසීන්ටම සතුටින් හා සාමයෙන් ජීවත්වීමේ භාග්‍යය උදාවීම මෙරට සමස්ත රටවැසියන්ගේ මෙන්ම තමන්ගේ ද අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර රට මුහුණ දී ඇති අභියෝග හමුවේ විසදුම් සෙවීමේ දී බෞද්ධ දර්ශනයෙන් පෙන්වා දී ඇති හේතුඵල දහම මැනවින් වටහා ගැනීම අතිශයින් වැදගත් බව වෙසක් දින පණිවිඩය නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අප රටක් වශයෙන් මුහුණ දී ඇති ගැටලු හමුවේත්, ලෝකය හමුවේ මුහුණ දී ඇති ගැටලු හමුවේත්, විසඳුම් සෙවීමට උත්සහ දරණුයේ ප්‍රශ්නයක් තුළින් පැන නැගුණු ඵලයකට මිස එම ගැටලුව පැණ නැගුණු හේතුව සොයා එය නැතිකිරීම නොවන බවය.

යමක් ඇති වන්නේ කෙසේද එයට හේතුව සොයා බලා පිළියම් යෙදිය යුතු බවට බුදු දහමෙහි දැක්වෙන බව සිය වෙසක් දින පණිවිඩය මගින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී ඇත.

COMMENTS