ඉන්දීය ධීවර යාත්‍රා 4ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවර යාත්‍රා 4ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

අනවසරයෙන් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මෙම මෙහෙයුම සිදුකර තිබුණේ ඊයේ (02) සහ අද (03) අලුයම් කාලයේ දීය.

වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් සහ අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් මෙම ධීවර යාත්‍රා සමඟ 35 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදුකරනු ලබන නීතිවිරෝධි ධීවර කටයුතු මඟින්, සමුද්‍රීය පරිසරය වෙත සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය වෙත සිදුවන අහිතකර බලපෑම වැලැක්වීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව සිදුකළ මෙහෙයුමේ දී ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, එම නාවික විධානයට සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත යාත්‍රා යොදවා සිදුකෙරිණි.

මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය කයිට්ස් පොලීසිය වෙත සහ මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාරදීමට කටයුතු කෙරිණි.

COMMENTS