බැකෝ සමන්ගේ බිරිඳට ඇප

බැකෝ සමන්ගේ බිරිඳට ඇප

විෂ මත්ද්‍රව්‍ය පනත හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් භාරයට පත් කර සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සැකකාරියගේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සඳහන් කළේ, විෂ මත්ද්‍රව්‍ය පනතේ 54 (1 ) වගන්තිය යටතේ සැකකාරිය රිමාන්ඩ් භාරයට පත්කිරීමට තරම් සෑහීමකට පත් විය හැකි කරුණු පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවය.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115(2) වගන්තිය ප්‍රකාරව මෙම සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත්වී නොමැති හෙයින් ඇය ඇප මත මුදාහරින බවත් මහෙස්ත්‍රාත්වරයා සිය ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව සැකකාරිය රුපියල් 50,000/-ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළේය.

ඊට අමතරව සෑම ඉරිදා දිනකම පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටත් සැකකාරිය වෙත තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබීය.

ඉන් අනතුරුව මෙම නඩුකරය යළි ජනවාරි මස 22 වන දා කැඳවන ලෙසත් නියෝග කරනු ලැබීය.

COMMENTS