ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහන රථ ඇතුළු කුලී රථ නියාමනය කිරීමට තීරණය කෙරේ

ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහන රථ ඇතුළු කුලී රථ නියාමනය කිරීමට තීරණය කෙරේ

ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා ඇතුළු කුලී රථ ගමන් සේවාවන් නියාමනය කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල පවසනවා.

පළමු අදියරේදී මෙම ප්‍රවාහන සේවාවන් සම්බන්ධයෙන් දත්ත එක්රැස් කිරීම සිදු කරන අතර, එම වැඩසටහන නොවැම්බර් 01 වැනිදා සිට ආරම්භ කරන බවයි අද (30) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ.

පොදුවේ මේ ක්ෂේත්‍රයේ නියැලෙන විශාල සංඛ්‍යාවකගේ ආරක්ෂාව වෙනුවෙන් ‘රාජ්‍ය නොවන ප්‍රවාහන සේවකයින්ගේ මණ්ඩලය’ ලෙස ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන බවත්, ඒ තුළින් ඔවුන්ගේ ජීවන මට්ටම තහවුරු කිරීම වෙනුවෙන් මෙහි මූලික කටයුතු ආරම්භ කර ඇති බවද සඳහන්.

ත්‍රිරෝද රථ, පාසල් හා කාර්යාල ප්‍රවාහන සේවා, කුලී රථ සහ විශේෂ චාරිකා සේවා යන කොටස්වල දත්ත එක්රැස් කිරීම සිදු කරන බවත්, ඒ සඳහා රාජ්‍ය ආයතනවල හා රථගාල්වල ස්ටිකරයක් ප්‍රදර්ශනය කරන අතර, එහි සඳහන් උපදෙස් අනුව තොරතුරු යොමු කරන ලෙසයි දන්වා ඇත්තේ.

එම දත්ත රැස් කිරීම නොවැම්බර් 01 වැනිදා සිට ආරම්භ වන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ.

COMMENTS