මම පද්මෙව දන්නේ නෑ – පද්මේත් එක්ක ගත්ත පිංතූරය අවරුදු උත්සවයකදී ගත්ත එකක්

කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකතනයෙන් සොයාගත් ඡායාරූප සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව රංගන ශිල්පිනී ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ කැඳවීමකට අනුව ඇය ඊයේ (27) එහි පැමිණ තිබුණාය. මෙයට පෙර මේ සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහත්මියගෙන්ද ප්‍රශ්න කර තිබුණි. තවත් රංගන ශිල්පිනියන් තිදෙනකුගෙන් ප්‍රශ්න කිරීමට කැඳවීමට නියමිතය. රංගන ශිල්පිනී ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මිය ඉකුත් මහා මැතිවරණයේදී සර්වජන බලය පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ තැනැත්තියකි.
රංගන ශිල්පීනි ශ්‍රිමාලි ෆොන්සේකා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටතට පැමිණ මාධ්‍යයන් වෙත මෙසේ සඳහන් කළාය.
ඇත්තටම 2022 පැවැත්වුණ අවුරුදු උත්සවයක් සම්බන්ධයෙන් තමයි, එතනදී අපිත් එක්ක ගත්ත ෆොටෝ එකක් සම්බන්ධයෙන් තමයි අද විමර්ශනය සිද්ධ වුණේ.
ඉතින් මෙතනදී ලොකු කතාබහක් තිබුණා ලංකාවේ අපි මුදල් විශුද්ධිකරණය කළා කියලා. ඉතින් ඒක පැහැදිලි කරන්න. මොකද අපි ඉතා නීත්‍යනුකූලව නීතියට බයේ ජීවත්වන අය. ඉතින් අපි කවදාවත් කැමැති නැහැ මේ වගේ දේවල් රටේ සිද්ධ වෙනවාට. සම්පූර්ණ සහයෝගය මගේ ලබාදෙනවා. රටේ තිබෙන ප්‍රශ්න නැති කරන්න ඒ වගේම මේ නීති විරෝධී දේවල්වලට ඒ නිසා තමයි මම ඇවිල්ලා මගේ ව්‍යාපාරයට ලොකු පහරක් වෙලා තිබෙනවා මේක අපි මනිලොන්ඩරි හරහා තමයි පටන් අරන් තියෙන්නේ කියලා. නැහැ එහෙම නැහැ. මම පටන් ගත්තේ 2017, මගේ හැම ව්‍යාපාර කටයුත්තක්ම. ඉතින් එදා ඉඳන් මේ වෙනකන් අපි කරපු දේවල් මොන විදියටද ගනුදෙනු කරලා තිබෙන්නේ. ඒ දෙවල් තමයි අද දවසෙම අපි මේ විදියට පෙන්නුම් කළේ.
පාතාල නායකයත් එක්ක මගේ පිංතූරයක් තිබෙනවා කියලා තමයි මට එන්න කිව්වේ. නමුත් පිංතූරයේ තියෙන්නේ අවුරුදු උත්සවයකට ගිය පිංතූරයක්. ඒ අවුරුදු උත්සවයට ගොඩාක් කට්ටිය සම්බන්ධ වුණා. ගොඩාක් නළු නිළියෝ සම්බන්ධ වුණා. මේ දවස්වල කතාබහ වෙන ඒ හැමෝමත් සම්බන්ධ වුණා. මම මේ අවුරුදු උත්සවයට ගියේ මගේ වියදමින්. මගේ පවුලත් එක්ක. ඉතින් ඒක නිසා මම හැමදෙයක්ම ඒ ගොල්ලන්ට ඔප්පු කළා. ඉතින් මට ගොඩක් සතුටුයි. මොකද ලොකු කතා බහක් යනවා මේ වෙනකොට ඉතින් අපි ගොඩක් අමාරුවෙන් හදාගත්තු නම නැති කරන්න ගොඩක් අය උත්සාහ කරනවා. ඉතින් එහෙම කරන්න බැහැ. මොකද හේතුව අපි ගොඩක් සාධාරණව, ඒ වගේම ඉතාමත් නීත්‍යනුකූලව නීති ගරුකව ජීවත්වන අය. ඉතින් ඒක නිසා කවදාවත් වැරැද්දක් වෙන්නේ නැහැ කියන එක මම විශ්වාස කරනවා. මම ඒ පුද්ගලයා දැනගෙන හිටියෙ නැහැ. ඒ අවුරුදු උත්සවයට ලක්ෂ ගාණක් ඇවිල්ලා හිටියා. මම පළමු වතාවට තමයි අවුරුදු උත්සවයකට සම්බන්ධ වුණේ. මම ඩුබායි රටේ ඉගෙන ගත්තු කෙනෙක්. ඩුබායි රටේ වීසා තිබුණු කෙනෙක්. රෙසිඩන්ට් වීසා තිබුණු කෙනෙක්. ඒක නිසා එහෙම හිටපු කෙනෙක් ඒ වගේ දෙයක් කරයි කියලා හිතන්න අමාරුයි. මොකද හේතුව ගොඩක් අය කියලා තිබුණා මම හැම තිස්සේම ඩුබායි යන්නේ මේගොල්ලන්ව හම්බුවෙන්න කියලා, නැහැ. මම 2001 ඉඳලා ඩුබායි යනවා. මොකද හේතුව ඩුබායි රට මගේ දෙවෙනි ගෙදර වගේ. මොකද හේතුව එහේ මගේ ව්‍යාපාරයක් තියෙනවා. ඒ වගේම මම එහේ ඉගෙන ගත්තු නිසා මම ඩුබායි යනවා. මම හිතන්නේ මේ හැම දෙයක්ම ඉතාමත් හොඳින් මම පැහැදිලි කර දුන්නා. ගොඩක් සතුටුයි මේ හරහා මගේ නම කැත වෙච්ච එක නැතිවෙයි කියලා මම විශ්වාස කරනවා.
සී.අයි.ඩී. එකෙන් ව්‍යාපාර ගැනත් ප්‍රශ්න කරා කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියලා. මොකද හේතුව මට ගොඩක් පිටරටවලින් සල්ලි එනවා.
මට කියන්න තියෙන්නේ අපේ රටේ දුවා දරුවෝ බලන් ඉන්නවානම් කවදාවත් නීත්‍යනුකූල නොවන දේවල් හරහා සල්ලි හම්බ කරන්න එපා. මොකද මම ඒක විශ්වාස කරන දෙයක් මම කතෝලික කෙනෙක් වුණාට මම බුදු දහම ගැන ගොඩක් විශ්වාස කරන කෙනෙක්. කර්මය කියන දේ ගොඩක් විශ්වාස කරන කෙනෙක්. ඒක නිසා කවදාවත් වැරැදි දෙයක් කරන්න එපා. වැරැදි දෙයක් කරලා අපට කවදාවත් නිදහසේ නිදා ගන්න බැහැ. අපි කොච්චර සල්ලි හම්බකළත් වැඩක් නැහැ අපිට නිදහසේ නිදා ගන්න බැරිනම්. ඒක නිසා අසාධාරණව නීති විරෝධීව සල්ලි හොයන්න එපා කියලා මම අපේ කුඩා දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
මට ෆොටෝ එක පෙන්නුවේ නැහැ. තනි තනියෙන් නෙමෙයි ගොඩක් අය හිටියා. අවුරුදු උත්සවයක් වුණාම ලංකාවේ වුණත් ගොඩක් අය සහභාගි වෙනවා. එතන ගොඩක් අය ඇවිල්ලා අපිත් එක්ක පින්තූර ගත්තා. ඉතින් ඒ අතරේ තමයි ඉඳලා තියෙන්නේ. අපිට ඒකට කරන්න දෙයක් නැහැ. අපි කාටත් බැහැයි කියන්නේ නැහැ. ඒ වෙනකොට මම දැනගෙන හිටියෙත් නැහැ කවුද මේ පුද්ගලයා කියන එක. අවුරුදු උත්සවවලට යනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕන කියලා මම මගේ කලා ශිල්පීන් ශිල්පිනියන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි දන්නේ නැහැනේ මේ දවල් කවුද ස්පොන්සර් කරන්නේ කියලා. අපිට ආරාධනා කළාම අපි යනවා.

