දිස්ත්‍රික්ක 11 කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 11 කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය ඉදිරි පැය 24 තුළදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනු ලබයි.

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන ලෙස මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55 සිට 60 දක්වා ඉහළ යා හැක.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර දැදුරු ඔය සහ මහ ඔය තවදුරටත් ගංවතුර අවදානම් මට්ටමේ පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

දැදුරු ඔය ගංවතුර අවදානම් මට්ටමේ පවතින්නේ, මොරගස්වැව ප්‍රදේශයෙනි.

බඩල්ගම ප්‍රදේශයෙන් මහ ඔය අවදානම් මට්ටමට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය ජනතාවට දැනුම් දෙන්නේ, ගංවතුර තත්වය පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙසය.

අධික වර්ෂාවත් සමග ජලාශ 14 ක් තවදුරටත් වාන් දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවයි.

දිස්ත්‍රික්ක 11 කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම, තවදුරටත් බලාත්මකයි.

එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ,කළුතර, ගාල්ල, මාතර, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුරයි.

මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට අදියර දෙක යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

පස් කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම් සහ පොළව ගිලා බැසීම් සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙනු ලබයි.

COMMENTS