ඊශ්‍රායලයේදී අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි

ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා ගොස් අතරමං වී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ තරුණයා අද (21) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
මොණරාගල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාවක් සඳහා මෙම වසරේ අගෝස්තු මස 9 දින ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇති අතර, එදින සිටම නිසි පරිදි සේවා ස්ථානයේ නොරැඳී විෂමාචාරවල යෙදෙමින් අවට සැරිසරමින් සිට තිබෙනවා.
මොහු පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් අගෝස්තු මස 30 දින පැමිණිලි කර ඇති අතර, ඒ අනුව සිදුකළ සොයාබැලීමේදී මොහු ජෙරුසලම ප්‍රදේශයේ රැඳී සිටියදී හමුවී ඇති බවයි සඳහන් වන්නේ.
ඒ වන විට ඔහුගේ පැවති දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සැප්තැම්බර් මස 5 වන දින ජෙරුසලම රෝහලට ඇතුළත් කළද එදින රාත්‍රියේ ඔහු එම රෝහලින්ද පැන ගොස් තිබෙනවා.
ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් අදාළ තරුණයා මෙම කෙටි කාල සිමාව තුළදී කිහිපවරක් සිය භාරයේ රඳවා ගැනීමට උත්සහ කලද එය ව්‍යර්ථ වී තිබුණා.
කෙසේ හෝ සැප්තැම්බර් 16 වන දින මොහු පිළිබඳව කරුණු අනාවරණය වීමෙන් අනතුරුව තානාපති කාර්යාලයේ රඳවා තබාගෙන තිබුණා.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර හා කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, ඊශ්‍රායලයේ ශ්‍රි ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විසින් අවශ්‍ය කඩිනම් පියවර ගැනීමෙන් අනතුරුව මෙම තරුණයා අද (21) දින දිවයිනට ගෙන්වා ගැනීමට හැකි වුණා.
ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන අංශයේ නිලධාරිනියකද අදාළ තරුණයා සමග මෙරටට පැමිණීමට පියවර ගත්තා.
දිවයිනට ළඟාවීමෙන් අනතුරුව ඔහු ඥාතීන් වෙත භාරදීමට කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.