ආරක්ෂක හේතුන් මත පවරාගත් උතුරේ ඉඩම්, දේශපාලන වාසි වෙනුවෙන් නිදහස් කරන්නේ නෑ – බිමල්

ආරක්ෂක හේතුන් මත පවරාගත් උතුරේ ඉඩම්, දේශපාලන වාසි වෙනුවෙන් නිදහස් කරන්නේ නෑ – බිමල්

ආරක්ෂක හේතුන් මත රජයට පවරාගත් උතුරු පළාතේ ඉඩම්, දේශපාලන වාසි අරමුණු කරගෙන නිදහස් නොකරන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඒ අනුව, අදාළ ඉඩම් හිතුමතයේ නිදහස් නොකර, යම් විද්‍යානුකූල ක්‍රමවේදයක් ඔස්සේ එය සිදු කිරීමට පියවර ගන්නා බවත්, රජය විසින් ඉඩම් ගැටලුව දේශපාලන වාසි වෙනුවෙන් යොදා නොගන්නා බවයි යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

යුද්ධය පැවති කාලයේ ඉඩම් පවරාගත්තේ ආරක්ෂක අවශ්‍යතාව සඳහා බවද, මේ වන විට ආරක්ෂක අවශ්‍යතාවක් නොමැති ප්‍රදේශවල ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

නමුත්, උතුරේ ඇතැම් දේශපාලඥයන් මෙය සිය දේශපාලන වාසි වෙනුවෙන් යොදා ගැනීමට කටයුතු කර ඇති බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළා.

මෙම සාකච්ඡාවේදී එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා සහ බිමල් රත්නායක අමාත්‍යවරයා අතර ඇති වූ කතාබහක් සමඟ රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.