ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අංශ රැසකින් අලුත් වෙයි – ආදායමත් නගී

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අංශ රැසකින් අලුත් වෙයි – ආදායමත් නගී

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සත්ව සුභසාධන මෙන්ම ජනතා ආකර්ෂණය ඉහළ නැංවීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කර තිබෙනවා.

පරිසර අමාත්‍ය දම්ම්ක පටබැදි හා නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

ඒ අනුව සත්ව සුභසාධනයට අදාළව සතුන්ට පිරිසිදු හා පෝෂදායි ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් හොරණ-කහපොළ, හොරණ-ගෝනපොළ, පින්නවල-දියගම සහ හම්බන්තොට සෆාරි උද්‍යානයේ භුමි ප්‍රදේශවල සත්ව ආහාර නිෂ්පාදන ගොවිපොළ 04ක් ආරම්භ කර තිබෙනවා.

මාසිකව මිලියන 60ක පමණ මුදලක් සත්ව ආහාර වෙනුවෙන් වැය කරන අතර එය මිලියන 35කින් පමණ අඩු කර ගැනීම අපේක්ෂාව බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා පරිසර අමාත්‍යංශයේ පැවති මාධ්‍ය වෙත අදහස් දැක්වීමේදී පැවසුවේ.

සතුන්ට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළ යටතේ එම ගොවිපොළ තුළ මේ වන විට තෘණවලට අමතරව එළවලු සහ පළතුරු වැනි භෝගද මහා පරිමාණයෙන් සාර්ථකව වගා කර තිබෙනවා.

එම වගාවන් සඳහා සතුන්ගේ මළ අපද්‍රව්‍ය මෙන්ම ඉතිරි ආහාර කොටස් යොදා ගැනීමද විශේෂත්වයක්.

සත්ව සුභසාධනයට අදාළව බෝ කිරීම, සංරක්ෂණය, සත්ව ගහනයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා පැවසුවේ ජනතාවට අවශ්‍ය අධ්‍යාපනය ලබාදීම සඳහා මේ වනවිට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර ජාතික උද්හිද උද්‍යාන දෙපාර්තමේන්තුව සමග එකාබද්ධව සත්වෝද්‍යාන තුළ අලංකාරවත් සහ සුවදායි පරිසරයක් නිර්මානය කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බවයි.

පරිසර අමාත්‍යංශය යටතේ මේ වන විට ආයතන, දෙපාර්තමේන්තු සහ මණ්ඩල 12ක් පවතින අතර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඒ අතරින් වඩාත් ලාභ ලබන ආයතනයක්.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් පාලනය වන උද්‍යාන 04 ක ආදායම ජනවාරි මාසයේ සිට මේ දක්වා ක්‍රමිකව ඉහළ ගොස් ඇති අතර දෙහිවල සත්වෝද්‍යානයේ පමණක් පසුගිය අගෝස්තු මාසයේදී මිලියන 50ක ආදායමක් උපයා තිබෙනවා.

COMMENTS