වැඩ බලන දියවඩන නිලමේ ලෙස ප්‍රදීප් නිලංග දෑල පත් වෙයි

වැඩ බලන දියවඩන නිලමේ ලෙස ප්‍රදීප් නිලංග දෑල පත් වෙයි

ශ්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නැවත වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස පත් කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.ජී. සේනාරත්න මහතා පවසනවා.

අදාළ පාර්ශ්වවල එකඟතාව සහිතව මෙම පත්වීම සිදුකළ බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඉදිරි නිලවරණය පවත්වන තෙක් මෙම පත්කිරීම බලපැවැත්වෙන අතර, මාස තුනක් ඇතුළත නිලවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බවයි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

නිලවරණය පවත්වන දිනය තවමත් තීරණය කර නොමැති බව වාර්තා වෙනවා.

ඊට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ වී ඇති බවයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ.

ධුර කාලය නිමා වීමෙන් පසු මාස තුනක් ඇතුළත ශ්‍රී දළදා මාලිගාව සඳහා දියවඩන නිලමේවරයෙකු පත්කර ගැනීමට ඡන්ද විමසීම බෞද්ධ කටයුතු කොමාසාරිස් ජනවරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ යුතුයි.

ඒ අනුව එළැඹෙන දෙසැම්බර් මස 07 වැනිදාට පෙර දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ නිලවරණය පැවැත්විය යුතුව තිබෙන අතර එය නොවැම්බර් මස මැද භාගයේ දිනක පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වනවා.

දියවඩන නිලමේ ධුරය සඳහා පවත්වන නිලවරණයට අපේක්ෂකයකු ලෙස මෙවර ද ප්‍රදීප් නිලංග දෑල මහතා ඉදිරිපත් වීමට නියමිතයි.

වර්ෂ 2005 දී හා 2015 දී පිළිවෙළින් ඡන්ද 199ක් හා 205ක් ලබා ගනිමින් නිලංග දෑල මහතා දියවඩන නිලමේ ධුරයට පත් වූ අතර ඔහු මෙවර ඉදිරිපත් වන්නේ තුන්වන වරටයි.

ඔහු මෙවර ජයග්‍රහණය කළහොත් දියවඩන නිලමේ ධුරය වැඩිම කාලයක් හෙබවූ පුද්ගලයා ලෙස ඉතිහාසගත වනු ඇති බවයි පැවසෙන්නේ.

මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක සහ මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහත්වරු ද සම්ප්‍රදායානුකූලව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමට දැහැත් පිළිගන්වා දියවඩන නිලමේ ධුරය ලබා ගැනීම සඳහා තරග වදින බව දැනුම් දී තිබෙනවා.

මෙයට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් සුබසිංහ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියකු වන ගාමිණි කලුහෙන්දිවල යන මහත්වරු ද ගිහි බෞද්ධයන්ගේ නායකයා වීමේ අපේක්ෂාවෙන් දියවඩන නිලමේ තෝරාපත් කර ගැනීමේ නිලවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබෙනවා.

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම, උඩරට රාජධානියට අයත්ව තිබූ රජමහා විහාරස්ථානයන්හි විහාරාධිපතිවරු, භාරකරවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ විහාර දේවාලගම් පනත යටතේ ගැසට් කර තිබෙන දෙවාල 31ක බස්නායක නිලමේවරු 270 පමණ පිරිසක් දියවඩන නිලමේ ඡන්දයේ දී ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබයි.