පොලීසියේ 30000ක නිලධාරී හිඟයක්

පොලීසියේ 30000ක නිලධාරී හිඟයක්

නීතිය සුරැකිමු – සාමය අගයමු යන්න තේමාව කරගනිමින් 159 වන පොලිස් දින සැමරුම් උත්සවය මේ වනවිට බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ක්‍රීඩා පිටියේදී පැවැත්වෙයි.

සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වී සිටින අතර අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවටට එක්වී සිටී.

උත්සව සභාව වෙත පැමිණි ජනාධිපතිවරයා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පිළිගත් අතර පසුව ජනාධිපතිවරයා වෙත විශේෂ පොලිස් උත්තමාචාරයක් ද පිරිනැමුණි.

ඉන් අනතුරුව උත්සව සභාවේ කටයුතු ආරම්භ කෙරුණු අතර එහිදී අදහස් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මේ දක්වා පොලිස් දෙපාර්තමේන්තුව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ අදහස් පළ කළේය.

මේ වනවිට සංවිධානාත්මක අපරාධකරුවන්, සංක්‍රාන්ත්‍රික අපරාධකරුවන් ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකරමින් පවතින අතර පසුගිය කාලසීමාව තුළ විදෙස් රටවල සිට මෙරට අපරාධ මෙහෙයවූ 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් ඇති බවද සඳහන් කළේය.

පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී ජාත්‍යන්තර පොලීසිය සමග එක්ව අපරාධ කල්ලි සාමාජිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පොලිස් දෙපාර්තමේන්තුව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බවද පොලිස්පති සඳහන් කළේය.

එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය කිලෝගෑම් 1416ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 946, ගංජා කිලෝගෑම් 1282ක් ඇතුළු මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු පැවසීය.

ගිනිඅවි අත්අඩංගුවට ගැනීමේදී T56 ගිනිඅවි සහ පිස්තෝල ගිනිඅවි ඇතුළුව ගිනිඅවි 1612ක් ද අත්අඩංගුවට ගත් බවද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙහෙදී සඳහන් කළේය.

මේ අතර පොලිස් දෙපාර්තමේන්තුව තුළ නිලධාරීන් 30,000ක හිඟයක් පවතින බවද ඔහු අනාවරණය කළේය.

COMMENTS