ඩිජිටල් හැඳුනුම්පතට එරෙහිව, ජනපති,අගමැතිනි ඇතුළු කැබිනෙට්ටුවට නොතීසි

ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබූ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය ඇතුළු කැබිනට් මණ්ඩලයට සහ සෙසු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27දා) පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය.
එකී වගඋත්තරකරුවන්ට මෙතෙක් නොතීසි ලැබී නොමැති බව පෙන්වා දෙමින් සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.
එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ඩිජිටල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31 දෙනකු නම් කර තිබිණි. එකී මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා කෙටි දිනයක් නියම කරන ලෙස ඉපත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඬුල්ල එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන ඔක්තෝබර් 17 වැනිදා යළි කැඳවීමට ද නියෝග කළේය.
අදාළ ගිවිසුම මගින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජීව දත්ත ඇතුළු රහස්‍ය තොරතුරු ඉන්දියාව අතට පත්වීම ඉතා අහිතකර තත්ත්වයක් බවත් එමගින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමේ අවකාශය ඉන්දියාවට ලැබෙන බවත් පෙත්සම්කරු අධිකරණයට පෙන්වා දී තිබිණි.
එබැවින් ඉන්දියාව සමග ඇති කරගෙන තිබෙන එම අවබෝධතා ගිවිසුම සහ ඊට අදාළ කැබිනට් මණ්ඩල තීන්දු තීරණ බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරනා ලෙස මෙන්ම ප්‍රශ්නගත ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරනා ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.