මෙරට ආහාර අනාරක්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩුවෙයි

මෙරට ආහාර අනාරක්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩුවෙයි

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වී ඇති බව ලෝක ආහාර වැඩසටහනේ (WFP) නව නියෝජිත පිලිප් වෝඩ් මහතා විදේශ කටයුතු විදේශ රැකිය සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට දැනුම් දී තිබෙනවා .

විදේශ අමාත්‍යවරයා වෙත ඊයේ (18) සිය අක්තපත්‍ර භාර දීමෙන් අනතුරුව පැවැති සාකාච්ඡාවේදීයි ඒ මහතා මේ බව පවසා ඇත්තේ .

මෙම සාකච්ඡාවේදී දරිද්‍රතාවය පිටුදැකීම, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා සමාජ ආරක්ෂණ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂයෙන් අවධාරණය කරමින්, ජාතික සංවර්ධන න්‍යාය පත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රමුඛතා පිළිබඳව අමාත්‍යෙවරයා ඒ මහතාට පෙන්වා දී තිබෙනවා .

තිරසාර සංවර්ධනය ඉදිරියට ගෙන යාම සහ රටේ ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා ලෝක ආහාර වැඩසටහන සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමුඛතාවන්ට සමගාමීව ලෝක ආහාර වැඩසටහනේ ව්‍යාපෘති ආරම්භ කරමින් අඛණ්ඩව ශ්‍රී ලංකා රජයට සහාය වීමට ලෝක ආහාර වැඩසටහන බලාපොරොත්තු වන බව පිලිප් වෝඩ් මහතා තහවුරු කර තිබෙනවා .