සම සුදු වීමට භාවිතා කරන ආලේපන භාවිතයෙන් රෝගී වන පිරිස ශීඝ්‍රයෙන් ඉහළට

සම සුදු වීමට භාවිතා කරන ආලේපන භාවිතයෙන් රෝගී වන පිරිස ශීඝ්‍රයෙන් ඉහළට

සම සුදු වීමට භාවිත කරන ආලේපන හේතුවෙන් රෝගී වන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ජාතික විෂ තොරතුරු නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය දීප්ති ප්‍රනාන්දු මහත්මිය පවසයි.

ජාතික විෂ නිවාරණ සතියේ ප්‍රගති සමාලෝචනය සහ ඉදිරි සැලසුම් පිළිබඳව අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරිය මේ බව පැවසුවාය.

ජාතික විෂ නිවාරණ සතිය අගෝස්තු 11 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන අතර ජාතික විෂ නිවාරණ සතියේ මෙවර තේමාව බවට පත්ව ඇත්තේ “සම සුදු කිරීමේ ක්‍රීම් භාවිතයේ අවදානම” යන්නය.

එහිදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරිය පැවසුවේ පුද්ගලයෙකුගේ ශරීරයේ ඇති විශාලම ඉන්ද්‍රීය සම බවත් සම මගින් සමට සහ එහි ශරීරයේ අභ්‍යන්තරයට ආරක්ෂාවක් සපයනු ලබන බවය.

එමෙන්ම මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයද සමේ ආලේපන ක්‍රීම් සඳහා කිසිදු රසදිය ප්‍රමාණයක් අඩංගු නොවිය යුතු බවද මේ වන විට සඳහන් කර ඇතැයිද විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික විෂ තොරතුරු නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය දීප්ති ප්‍රනාන්දු මහත්මිය,

“අපේ සම තමයි අපේ ශරීරයේ තියෙන විශාලම ඉන්ද්‍රීය. එය සමට සහ එහි අභ්‍යන්තරයට ආරක්ෂාවක් සපයනවා. එතකොට මෙම ආරක්ෂකයට වැදගත් වන්නේ ඒකේ තියෙන මෙලනින් වර්ණිකය. එම මෙලනින් වර්ණිකය මත තමයි අපේ පැහැය තීරණය වෙන්නේ. අපි ඝර්ම කලාපීය රටක්. අපේ මෙලනින් වර්ණයක සෞඛ්‍ය ආරක්ෂා කිරීමට ඉතා වැදගත් වෙන්නේ පාරජම්බුල කිරණ වලින් වෙන හානිය වැළැක්වෙන්නේ මේ මෙලනින් වර්ණකය නිසයි. ඒ වගේම සම වයසට යාම වැළැක්වෙන්නෙත් මේ මෙලනින් වර්ණකය නිසයි. නමුත් සම සුදු කිරීමේ ආලේපනවල වැඩි වශයෙන් තියෙන්නේ ස්ටීරොයිඩ්, හයිඩ්‍රෝක්ලීනොන් සහ බැර ලෝහ. අද ලංකාවේ වෙළෙඳපොළේ දක්නට ලැබෙන සම සුදු කිරීමේ ආලේපනවල වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මකරි සහ ස්ටිරොයිඩ්. මකරි ගත්තෝ ඒකෙන් වෙන්නේ මෙලනින් වර්ණකය අවහිර කිරීමක්.

මෙලනින් වර්ණකය අවහිර කිරීම නිසා ඇතිවන ගැටලු රාශියක් තියෙනවා. මේකෙන් ප්‍රධාන වශයෙන් වෙන්නේ මෙලනින් වර්ණකය අවහිර වීම සහ ඒ ගාන ක්‍රීම් එකේ තියන රසදිය අපේ ශරීරයට අවශෝෂණය වීම. මේ රසදිය දිගුකාලීන අවශෝෂණය වීම නිසා ඒක දිගු කාලීනව තැන්පත් වීම නිසා අපේ ස්නායු පද්ධතියට සහ වකුගඩුවල ක්‍රියාකාරීත්වය අක්‍රීයවීම දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ස්නායු පද්ධතියෙන් වෙන්න පුළුවන් මාංශ පේශි දුර්වල වීම සහ ඒ හරහා ගර්භණී මවක් මකරි තියෙන ක්‍රීම් එකක් භාවිතා කළොත් ඒක එයාගේ රුධිරය හරහා දරුවාට සම්ප්‍රේෂණය වී දරුවා මන්දබුද්ධික තත්ත්වයට පත්වෙන්න පුළුවන්. මේකෙදි දරුවාට මව්කිරි දීමේදි යන රුධිරය හරහා වුණත් මේක සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්.

ඒ වගේම තමයි ස්ටීරොයිඩ. මේකත් භාවිත වෙන්නේ අධික සාන්ද්‍රණය සහිතව මේවා ශරීරයට ආලේපනය කිරීමෙන් ප්‍රමාණයක් නොමැතිව අවශෝෂණය වෙනවා. එහෙම වුණාම අපේ සම තුනී වෙනවා, සම ඇදීම සහ මේක දිගු කාලීනව අවශෝෂණය වීමෙන් දියවැඩියාවද ඇති වීමේ අවදානමක් තියෙනවා.”

COMMENTS