අදානිට වෙන් කළ ඉඩම් යළි ටෙන්ඩර් කිරීමට පියවර

ඉන්දියාවේ අදානි සමාගම වෙත මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා වෙන්කළ ඉඩම් නැවත ටෙන්ඩර් කැඳවා නව ආයෝජකයින්ට ලබා දීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.
අද (15) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මන්නාරමේ විදුලි ජනනය සම්බන්ධව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ආචාර්ය කුමාර ජයකොඩි මහතා,
“මන්නරාම් දූපතේ කොටස් දෙකක් තිබුණා එකක් මෙගාවෝට් 250ක් සහ පුනරීන්වල මෙගාවෝට් 234ක් විදිහට. ඒකෙන් එගොල්ලෝ ඉවත් වුණා. අපි කල්පනා කරන්නේ නැවත අවශ්‍යතාවය මත ටෙන්ඩර්වලට ගිහිල්ලා ටෙන්ඩර් හරහා ඒ අයට ප්‍රධානය කරන්න. එතැනදි අදානි සමාගමට හෝ ඕනෑම සමාගමකට ඉදිරිපත් වෙන්න පුළුවන්. සාර්ථකත්වය සහ අඩුම මිල ගණනකට තමා අපි දෙන්නේ…”
මෙහිදී අදානි සමාගම විසින් ඉදිකිරීම් සඳහා වැය වූ මූලික මුදල රජයෙන් ඉල්ලා ඇති බව පළවන වාර්තා සම්බන්ධවද අමාත්‍යවරයා අදහස් දැක්වීය.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඕනෑම ව්‍යාපෘතියක් සඳහා ආපසු ගෙවන සහ නොගෙවන තැන්පත් ඇති බවත් ඒ අනුව දිය යුතු දේ සහ නොදිය යුතු දේ කුමක්ද යන්න හඳුනාගනිමින් අවශ්‍ය දේ ලබා දීමට පියවර ගන්නා බවය.
“ඕන කොන්ත්‍රාත්වල තියෙනවා ආපසු ගෙවන සහ ආපසු නොගෙවන තැන්පත් තියෙනවා. ඕනෑම කොන්ත්‍රාත්කරුවෙක්ම ඉල්ලනකොට මස් රාත්තලම ඉල්ලනවානේ… අපි දිය යුතු දේ මොකක්ද නොදිය යුතු දේ මොකක්ද කියලා හඳුනගෙන අපි දෙනවා කිසි ගැටලුවක් නෑ… නැවත දෙන්න ඕන දේවල් අපි දෙන්න ඕනේ අපි ඒ සීමාවේ ඉන්නවා.”
ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියන 01ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි පසුගිය පෙබරවාරි මාසයේදී තීරණය කෙරිණි.