රාජිතගේ පෙත්සමක් කල්යයි

රාජිතගේ පෙත්සමක් කල්යයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානම් පවතින බැවින් එය වළක්වාලන නියෝගයක් ලබා දෙන ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝදන පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 01 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද දින නියම කළේ ය.

පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය ඉදිරියේ කැඳවූවා ය.

නඩුව කැඳ වූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ නීතී සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය පැවසූවේ, නඩුකරයට අදාළ නොතීසි තම කොමිසම වෙත ලැබී නොමැති බවයි.

දැනගන්නට ලැබුණ තොරතුරු මත පමණක් අද(07) දින අධිකරණය හමුවේ පෙනී සිටින බවත් ඇය පැවසුවා ය.

ඒ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ නොතීසි විධිමත්ව කාර්යාලයට භාරදී තිබුණත් කිසියම් අතපසුවීමක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වන්නට ඇතැයි කියා සිටියේය.

එහෙත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අද දින අධිකරණයට පෙනී සිටින බැවින් මෙම පෙත්සම සලකා බැලීමට අද දින හැකියාවක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත් මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළ නොතීසි නිසියාකාරව නිකුත් කිරීමකින් තොරව එය සලකා බැලීමට හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව පෙත්සම යළි සැප්තැම්බර් මස 01 වනදා කැඳවීමට නියම කළ විනිසුරුවරිය එදිනට පෙර වග උත්තරකාර අල්ලස් කොමිසම වෙත නොතීසි යැවීමට කටයුතු කරන ලෙසත් දැනුම් දුන්නා ය.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි, කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදලව තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවධානමක් පවතින බව පවසමින් හිටපු අමාත්‍යවරයා මෙම ප්‍රතිශෝධන ඇයදුම්පත ගොනු කර තිබේ.

සිද්ධියට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම වලක්වාලමින්, පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරිණ ලෙස ඉල්ලා තමන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව අපේක්ෂිත ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මෙම පෙත්සම කොළම මහාධිකරණය හමුවේ ගොනු කර තිබේ.

මෙම නඩුව සැප්තැම්බර් 1 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

COMMENTS