කැබිනට් තීරණ

කැබිනට් තීරණ

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ නව තීරණ කිහිපයක් ගෙන තිබේ. ඒවා මෙසේය.

01 – 2025 දෙවන කාර්තුව සඳහා වන රජයේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳ ප්‍රකාශය

  • 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 53(1) වගන්තිය අනුව, අවම වශයෙන් කාර්තුමය පදනමක් මත මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් රජයේ ආදායම් සහ වියදම් ඇතුළු මූල්‍ය කාර්යසාධනය පිළිබඳ ප්‍රකාශයක් කාර්තුව අවසන් වී දින 45කට නොඅඩු කාලයක් තුළදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව, 2025 වාර්ෂික අයවැය ඇස්තමේන්තුවල දක්වා ඇති වර්ගීකරණයන් පදනම් කර ගනිමින් 2025‑06‑30 දිනෙන් අවසන් වන දෙවන කාර්තුව දක්වා සියලුම විශේෂ වියදම් ඒකක, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් වාර්තා කරන ලද සමුච්චිත ආදායම් සහ වියදම් ඇතුළත්ව සකස් කරනු ලැබ ඇති මූල්‍ය කාර්යසාධනය පිළිබඳ වාර්තාව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, අමාත්‍ය මණ්ඩලය විසින් එම වාර්තාව සැලකිල්ලට ගන්නා ලදී.

02 – තෝරාගත් කුළුබඩු ප්‍රතිඅපනයනය සඳහා ආනයන සමාගම්වලට ‘අනුමත ව්‍යවසාය’ තත්ත්වය ලබා දීම

  • තෙල් සාරය, ඔලියොරෙසින් සහ අවශේෂ ආකාරයෙන් ප්‍රතිඅපනයනය සඳහා තෝරාගත් කුළුබඩු ආනයනය කිරීම සහ සැකසීම සඳහා වූ ක්‍රියාපටිපාටියට 2023-12-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ‍එම කාර්යය සඳහා 2024 අංක 10 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පනවනු ලැබ ති‌බේ. එකී රෙගුලාසි අනුව තෝරාගත් කුළුබඩු ආනයනය කිරීම සහ සැකසීම සඳහා ව්‍යවසායන් කිහිපයක් දැනටමත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ පරිපූරක ගිවිසුම් අත්සන් කර ඇත. එකී ව්‍යවසායන්හට ‘අනුමත ව්‍යවසාය’ තත්ත්වය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් නිර්දේශ කර ති‌බේ. ඒ අනුව, තෝරාගත් කුළුබඩු ආනයනය හා සැකසීම සහ තෙල් සාරය, ඔලියොරෙසින් හා අවශේෂ ආකාරවලින් ප්‍රතිඅපනයනය කිරීම සඳහා අනුමත ක්‍රියාපටිපාටියේ අවශ්‍යතා සම්පූර්ණ කරන ලද පහත සඳහන් ව්‍යවසායයන්හට ‘අනුමත ව්‍යවසාය’ තත්ත්වය ලබා දීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
  • Stay Naturals (Pvt) Ltd.
  • Verger Naturals (Pvt) Ltd.
  • Plant Lipids Lanka (Pvt) Ltd.
  • HDDES Extracts (Pvt) Ltd.

03 – අතත්‍ය නගර (Virtual City) නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ Virtual City in Kandy නිර්මාණය කිරීම

  • අතත්‍ය නගර නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ (Virtual City Creation Project) නියමු ව්‍යාපෘතියක් ලෙස යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාව ඇතුළත් මහනුවර නගරය, Virtual City in Kandy නමින් නිර්මාණය කිරීම සඳහා හඳුනාගනු ලැබ තිබේ. එම නියමු ව්‍යාපෘතියෙහි පළමු කොටස ලෙස මහනුවර නගරය කේන්ද්‍ර කර ගත් සංචාරක ආකර්ෂණයන් හා සංචාරක විභවයන් සහිත ස්ථානයන් ලෙස ප්‍රමුඛතාව මත හඳුනාගත් ස්ථාන 58ක් සහ එම ව්‍යාපෘතියෙහි දෙවන කොටස ලෙස ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය හා ඒ ආශ්‍රිතව පවතින ඵෙතිහාසිකමය හා සංචාරකමය වැදගත්කමකින් යුක්ත වූ ස්ථාන 20ක් තාක්ෂණිකව නිර්මාණය කිරීමට සැලසුම් කොට ඇත. නිෂ්පාදන ආයතනය සතු ශක්‍යතාව හා තාක්ෂණික හැකියාව පිළිබඳවත්, එම ආයතනය මඟින් සිදු කර ඇති පූර්ව නිෂ්පාදන කටයුතු පිළිබඳවත් ඇගයීමක් සිදු කොට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් අදාළ කාර්යය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සුදුසු බවට නිර්දේශ කර තිබේ. ඒ අනුව, Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ වෙන් කර දී ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් Virtual City in Kandy ව්‍යාපෘතියෙහි නිෂ්පාදන කටයුතු සිදු කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

04 – කොළඹ කොටුව, ඕල්කට් මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් චාමර්ස් ධාන්‍යාගාරය නමැති ඉඩම සඳහා ආයෝජන යෝජනා කැඳවීම

  • නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව, ඕල්කට් මාවතේ පිහිටි චාමර්ස් ධාන්‍යාගාරය නමැති අක්කර 09 රූඩ් 02 පර්චස් 31.75 (හෙක්ටයාර් 3.9248) ඉඩම කොළඹ මහ නගර සභා බලප්‍රදේශය සඳහා 2022-2031 කාලපරිච්ඡේදයට අදාළව පිළියෙල කර ඇති සංවර්ධන සැලැස්මේ සංගත මිශ්‍ර සංවර්ධන කලාපය තුළ පිහිටා තිබේ. නේවාසික, සෞඛ්‍ය, කාර්යාල හා ආයතනික, වාණිජ, අධ්‍යාපනික, පාරිභෝගික සේවා මධ්‍යස්ථාන, සංචාරක, විනෝදාත්මක හා වෙනත් ක්‍රියාකාරකම් ඇතුළු සංගත මිශ්‍ර සංවර්ධන කලාපය තුළ අවසර ලත් භාවිතයන් අතුරින් මූල්‍ය, පාරිසරික හා සාමාජීය වශයෙන් ඉහළ විභවතාවක් සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එකී ඉඩම බදු පදනම මත බැහැර කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ යාවත්කාලීන තක්සේරු වටිනාකම මත පදනම්ව අදාළ ඉඩම 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීම සඳහා, උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් ආයෝජන යෝජනා කැඳවීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

05 – 2012 හා 2021 වර්ෂයන්හි පැවති සීමා නිර්ණය කමිටු නිර්දේශයන් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව සීමා නිර්ණය කමිටුවක් පත් කිරීම

  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරි වසම් පිහිටුවීම සහ ප්‍රතිශෝධනය කිරීම සඳහා 2012 වර්ෂයේදී සීමා නිර්ණය කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුවේ ඇතැම් නිර්දේශ පමණක් ක්‍රියාත්මක කිරීම පිණිස පියවර ගනු ලැබ ඇත. ඉන් අනතුරුව, 2021 වර්ෂයේදී නැවත සීමා නිර්ණය කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත. එකී කමිටු වාර්තාවේ නිර්දේශ අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත ඉදිරිපත් කර එම කමිටුවල නිර්දේශ ලබා ගැනීමටත්, එකී නිර්දේශයන් සමාලෝචනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා නව සීමා නිර්ණය කමිටුවක් පත් කිරීම සඳහාත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

06 – ප්‍රතිසන්ධානය සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම

  • 2024 අංක 1 දරන ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනතේ විධිවිධාන මඟින් ප්‍රතිසන්ධානය සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා සහ ක්‍රියාත්මක කිරීම සඳහා වන බලය, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය වෙත පැවරී තිබේ. ඒ අනුව, ප්‍රතිසන්ධානය සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සඳහා පදනම් වන ක්‍රියාමාර්ග ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය විසින් සකස් කරනු ලැබ ඇත. යෝජිත ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලැස්ම මඟින්, ආයතනික යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම, මහජන විශ්වාසය ස්ථාපිත කිරීම, අන්තර්වාර්ගීය සහ අන්තර්ආගමික සංවාද ප්‍රවර්ධනය කිරීම සහ තරුණයින් කාන්තාවන් සාමයේ නියෝජිතයන් වශයෙන් බලගැන්වීම වැනි හවුල් ජාතික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, බහු අංශ ප්‍රවේශයක් තුළින් 2025 – 2029 දක්වා කාලපරාසය සඳහා ප්‍රතිසන්ධානය සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමටත්, ඒ සඳහා අදාළ අමාත්‍යාංශ සහ රේඛීය ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත අන්තර් අමාත්‍යාංශ කාර්යසාධක බලකායක් පිහිටුවීමටත්, අවශ්‍ය තාක්ෂණික, සැපයුම්, මූල්‍ය හා පරිපාලන සහාය ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙතින් ලබා ගැනීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

07 – කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම් පිටුදැකීමේ සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ බැඳීම්වලට අදාළව කටයුතු කිරීම පිණිස අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක් පිහිටුවීම

  • එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියක් ප්‍රකාශයට පත් කිරීම සහ 1979 දී කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම් පිටුදැකීමේ සම්මුතියට එළඹීමේ ප්‍රතිඵලයක් ලෙස, 1982 දී කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම් පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ කමිටුව (CEDAW) පිහිටුවන ලදී. එකී සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇති අතර, ඊට අනුකූල වන පරිදි ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග අනුගමනය කිරීම, නීති සම්පාදනය කිරීම සහ අවශ්‍ය පරිදි කාලීන වාර්තා සැපයීම සම්බන්ධයෙන් වගකීමට බැඳී ඇත. කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම් පිටුදැකීමේ සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවට අදාළව කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම් පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, විදේශ කටයුතු විෂය භාර අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශ/ආයතන සමඟ එක්ව කාන්තා කටයුතු විෂය භාර අමාත්‍යාංශය විසින් සෑම වසර 04කට වරක්ම කාලාන්තර වාර්තාවක් සකස් කිරීම සිදු කරනු ලබයි. ඒ අනුව, ශ්‍රී ලංකාව විසින් සකස් කරන ලද නවවන (09) කාලාන්තර වාර්තාව, 2025 පෙබරවාරි 03 දින සිට 21 දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම් පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ කමිටුවේ 90වන සැසි වාරයට ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ සඳහා එම සැසි වාරයේදී සිදු කරනු ලැබ ඇති අවසන් නිරීක්ෂණ සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් පැවති සමාලෝචනයකදී අනිවාර්ය වාර්තාකරණය සහ පසුවිපරම් කිරීමේ වගකීම සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රවේශයකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව කටයුතු කිරීමට හැකි වන පරිදි සහ අදාළ ප්‍රතිපත්තිමය තීරණයන්ට එළඹීම සඳහා අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක් පිහිටුවීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

08 – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීම.

  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු එක් පාර්ලිමේන්තු වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට 2023-05-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, පසුගිය කාලසීමාව තුළ අදාළ රක්ෂණාවරණයන් සලසා දී ඇත. 2025 අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වූ රුපියල් 1,000,000/-ක රක්ෂණාවරණ සීමාව රුපියල් 250,000/- දක්වා අඩු කිරීමට යෝජනා කරන ලදී. ඒ අනුව, 2025-10-09 දිනෙන් ආරම්භ වීමට නියමිත රක්ෂණ වර්ෂයේ සිට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වන රක්ෂණාවරණයේ ප්‍රතිලාභ රුපියල් 250,000/- ක් දක්වා සීමා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සමූහ රක්ෂණාවරණයක් සලසා දීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

09 – ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ University of Illinois අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම

  • ප්‍රවේණි ද්‍රව්‍ය ආශ්‍රිත පර්යේෂණ සඳහා මානව සම්පත් නිපුණතා සංවර්ධනය සහ පශ්චාත් උපාධි සිසුන් හා ආයතන කාර්යමණ්ඩල හුවමාරු වැඩසටහන් වැනි ක්‍රියාකාරකම් හා වැඩසටහන් සඳහා පහසුකම් සලසා දෙමින් ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ University of Illinois අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. යෝජිත කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ එකඟතාව ලැබී තිබේ. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

10 – ‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීම

  • දශක ගණනාවක් තිස්සේ අලුත්වැඩියා හා යාවත්කාලීන කිරීම් සිදු නොකිරීම හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස්රථ නැවතුම්පොළෙහි ප්‍රවේශ මාර්ග, බස්රථ අංගන, මගී නැවතුම්, රියදුරු-කොන්දොස්තර විවේකාගාර, පරිපාලන ගොඩනැගිලි, සනීපාරක්ෂක හා ජල අපවහන පද්ධති මේ වන විට ඉතා අබලන් තත්ත්වයකට පත්ව ඇත. එම තත්ත්වය හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ භාවිත කරනු ලබන මගී ජනතාවට මෙන්ම රියදුරු හා කොන්දොස්තර මහත්වරුන්ට සහ මෙහෙයුම් කාර්යමණ්ඩලයට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ. එබැවින්, පිටකොටුව මධ්‍යම බස්රථ නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම හා වර්තමානයට ගැලපෙන ලෙස සංවර්ධනය කිරීම දැඩි කාලීන අවශ්‍යතාවයක් ලෙස හඳුනාගනු ලැබ ඇත. අදාළ නවීකරණ කටයුතු හා සංවර්ධනයන් සඳහා රුපියල් මිලියන 425ක් පමණ වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ති‌‌‌බේ. ඒ අනුව, ‘Clean Sri Lanka’ වැඩසටහන සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඍජු ශ්‍රම දායකත්වය සහ කොළඹ මහ නගර සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ අනෙකුත් ආයතනවල දායකත්වයෙන් හා සහයෝගිතාවයෙන් පිටකොටුව මධ්‍යම බස්රථ නැවතුම්පොළ නවීකරණය හා සංවර්ධනය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

11 – ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සඳහා ඩ්‍රෙජරයක් මිල දී ගැනීම

  • ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට අදාළ අත්‍යවශ්‍ය නඩත්තු හා සංවර්ධන කටයුතු සඳහා ඩ්‍රෙජරයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබ ඇති පිරිවැය – ප්‍රතිලාභ විශ්ලේෂණයක් සිදු කරනු ලැබ ඇත. එම සංස්ථාව විසින් වාර්ෂිකව ඝණමීටර 183,000ක් පමණ වැලි කැණීම් සිදු කළ යුතුව ඇති අතර, ඒ සඳහා පෞද්ගලික අංශය වෙතින් අදාළ සේවාවන් ලබා ගැනීමේදී රුපියල් මිලියන 500ක පමණ පිරිවැයක් දැරීමට සිදුවන බැවින් එම සංස්ථාව සඳහා ඩ්‍රෙජරයක් මිලදී ගැනීම දිගුකාලීනව ආර්ථිකමය වශයෙන් ඵලදායී බව තහවුරු වී ඇත. එසේම, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කලපු සංරක්ෂණ හා කළමනාකරණ වැඩසටහන යටතේ ආරුගම්බේ, නන්දිකඩාල්, නයාරු, ලංකා පටුන වැනි කලපුවල සිදු කිරීමට නියමිත කැණීම් කටයුතු සඳහා ද එලෙස මිල දී ගනු ලබන ඩ්‍රෙජරය යොදා ගැනීමට හැකියාව පවතී. ඒ අනුව, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සඳහා ඩ්‍රෙජරයක් මිල දී ගැනීම පිණිස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

12 – නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ කොළඹගේ මාවත හා ටොරිංටන් මාවත නිවාස ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම

  • නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කර අතරමග නවතා තිබූ කොළඹගේ මාවත හා ටොරිංටන් මාවත යන පෙදෙස්හි වන නිවාස ව්‍යාපෘති දෙකෙහි මූලික කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා 2024-12-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. කොළඹගේ මාවත ව්‍යාපෘතිය නිවාස ඒකක 615කින් සහ ටොරිංටන් මාවත නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 115කින් සමන්විත වේ. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 7.48ක් වන අතර, ඉදිකිරීම් කටයුතු නිම කිරීම සඳහා වසර 2 ½ පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, එකී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2026 වර්ෂයේ සිට 2028 වර්ෂය දක්වා වෙන් කර ගැනීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

13 – පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4,000 අයියූ, මිලිලීටර් 0.4 සිරින්ජර්/වයල් 900,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය

  • හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4,000 අයියූ, මිලිලීටර් 0.4 සිරින්ජර්/වයල් 900,000ක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා, ලංසු හයක් (06) ඉදිරිපත් වී ඇත. අදාළ ලංසු සම්බන්ධයෙන් වූ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ඉන්දියාවේ M/s. Gland Pharma Limited, (Manufacturer – M/s. Gland Pharma Limited, India) වෙත අදාළ ප්‍රසම්පාදනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.143ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

14 – පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 6,000 අයියූ, මිලිලීටර් 0.6 සිරින්ජර්/වයල් 450,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය

  • හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 6,000 අයියූ, මිලිලීටර් 0.6 සිරින්ජර්/වයල් 450,000ක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා, ලංසු හයක් (06) ඉදිරිපත් වී ඇත. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ඉන්දියාවේ M/s. Emcure Pharmaceuticals Ltd., (Manufacturer – M/s. Emcure Pharmaceuticals Ltd., India) වෙත අදාළ ප්‍රසම්පාදනය ඇමෙරිකානු ඩොලර් 751,500ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

15 – පොලිඇක්සියල් එම්ආර්අයි අනුකූල (ටයිටේනියම්/කොබෝල්ට් ක්‍රෝම්) ලම්බර් පෙඩිකල් ඉස්කුරුප්පු 50ක් සහ පසුපස තොරකෝ ලම්බර් විලයනය සඳහා (ස්කෝලියෝසිස් නිවැරදි කිරීම සඳහා) උපකරණ කට්ටල 20ක් සැපයීම

  • කොඳු ඇට පෙළ ආශ්‍රිත සැත්කම් සඳහා භාවිත කරනු ලබන පොලිඇක්සියල් එම්ආර්අයි අනුකූල ලම්බර් පෙඩිකල් ඉස්කුරුප්පු 50ක් සහ පසුපස තොරකෝ ලම්බර් විලයනය සඳහා උපකරණ කට්ටල 20ක් මිල දී ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා පිළිවෙලින් ලංසු හයක් හා ලංසු පහක් ලැබී තිබේ. තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව ලම්බර් පෙඩිකල් ඉස්කුරුප්පු 50ක් සපයා ගැනීමේ ප්‍රසම්පාදනය Avenierr Pharma (Pvt) Ltd වෙත සහ පසුපස තොරකෝ ලම්බර් විලයනය සඳහා උපකරණ කට්ටල 20ක් සපයා ගැනීමේ ප්‍රසම්පාදනය A. Baur & Co. (Pvt) Ltd වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

16 – ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

  • ක්‍රීඩාව ජනගත කිරීම සඳහා ක්‍රීඩා විෂයෙහි මානව සම්පත හා ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ කාර්යයක් වේ. ප්‍රමාණවත් ක්‍රීඩා පහසුකම් නොමැති තරුණ ප්‍රජාව, වැඩිහිටි ප්‍රජාව, ක්‍රීඩා සමාජ සහ පාසල් සඳහා ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් පාසල් පද්ධතිය, මහජන ක්‍රීඩාංගන සහ යෞවන සමාජ සඳහා ව්‍යාපෘති ත්‍රිත්වයක් 2025 වර්ෂයේ සිට වසර 03ක කාලසීමාවක් තුළ ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර ඇත. ඒ අනුව, ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම, ග්‍රාමිය පාසල් හා යෞවන සමාජ සඳහා ක්‍රීඩ යටිතල පහසුකම් ලබා දීම සහ හඳුනාගත් ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යන ව්‍යාපෘති 2025-2027 කාලසීමාව තුළ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

17 – 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සංශෝධන කිරීම

  • 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සම්මත කර මේ වන විට වසර 25ක පමණ කාලයක් ගතවී තිබේ. මෙම කාලසීමාව තුළ සිදුව ඇති සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික පරිවර්තනයන් හේතුවෙන් ළමයින්ට එරෙහිව සිදු වන අපයෝජන හා හිංසනයන් සංකීර්ණ ස්වභාවයකට පත්ව ඇත. එබැවින්, ළමයින්ට එරෙහි සියලු ආකාරයේ අපයෝජන වැළැක්වීමට සහ ඊට ප්‍රතිචාර දැක්වීමට දැනට පවතින නීතිරීති කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ කර්තව්‍යයන් වඩාත් පුළුල්ව, අර්ථවත්ව සහ කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇති සංශෝධන ඇතුළත් කරමින් එකී පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන‌ ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

18 – ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීම

  • වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, “නව්‍ය සංචාරක කර්මාන්තයක් – ආකර්ශනීය ගමනාන්තයක්” යටතේ පොහොසත් රටක් නිර්මාණය කිරීමේදී සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානයක් යොමු වී ඇත. එම කාර්යයන් වඩාත් ඵලදායීව හා කාර්යක්ෂමව ඉටු කිරීමට හැකි වන පරිදි ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, සංචාරක කර්මාන්තයේ කඩිනම් සංවර්ධන ඉලක්කයන් ළඟා කර ගැනීම සහ ඉහළ මට්ටමේ තිරසර වර්ධනයක් අත්කර ගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීම හා ක්‍රියාමාර්ග ගැනීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමතිතුමාගේ සභාපතිත්වයෙන් යුතුව අදාළ අමාත්‍යාංශ, ආයතන සහ සංචාරක ක්ෂේත්‍රයේ විවිධ අංශයන්වල නියෝජනයන් ද සහිතව ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීම සඳහා ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

19 – ටෙනෙක්ටිප්ලේස් එන්නත් මිලිග්‍රෑම් 40න් (40mg) වයල් ‍‍10,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය

  • හෘදයාබාධ ඇති වූ පුද්ගලයින් සඳහා භාවිත කරනු ලබන ටෙනෙක්ටිප්ලේස් එන්නත් මිලිග්‍රෑම් 40න් (40mg) වයල් 10,000ක් සැපයීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 03ක් ඉදිරිපත් වී ඇත. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ඉන්දියාවේ M/s. Boehringer Ingelheim India Pvt. Ltd., (Manufacturer: Boehringer Ingelheim Pharma GmbH & Co‑KG, Germany) වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 3.7ක මුදලකට අදාළ ප්‍රසම්පදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS