දැඩි සත්කාර ඒකක ප්‍රධාන රෝහල්වලට පමණක් සීමා නොවිය යුතුයි – ඇමැති නලින්ද

දැඩි සත්කාර ඒකක ප්‍රධාන රෝහල්වලට පමණක් සීමා නොවිය යුතුයි – ඇමැති නලින්ද

දැඩි සත්කාර ඒකක ප්‍රධාන රෝහල්වලට පමණක් සීමා නොවිය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රි ලංකා දැඩි සත්කාර විශේෂඥයින්ගේ විද්‍යාලයේ (Ceylon College of Critical Care Specialists) දෙවන වාර්ෂික විද්‍යාත්මක සැසියට එක්වෙමින්.

ශ්‍රී ලංකා දැඩි සත්කාර ක්ෂේත්‍රයේ විශේෂඥයින් ජීවිතාරක්ෂක වෛද්‍ය විද්‍යාවේ පෙරමුණ ගන්නා බවත්, දැඩිසත්කාර වෛද්‍ය විද්‍යාව ජාතික ප්‍රමුඛතාවයක් වන බවත් මෙහිදී පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දැඩි සත්කාර ඒකක ප්‍රධාන රෝහල්වලට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට ද ව්‍යාප්ත විය යුතු බවත්, මෙරට සෑම අසාධ්‍ය රෝගියෙකුට ඔවුන්ගේ තරාතිරම කුමක් වුවත් නිසි ප්‍රතිකාර ලබාදිය යුතු බව ද සඳහන් කළා.

ශ්‍රි ලංකා දැඩි සත්කාර විශේෂඥයින්ගේ විද්‍යාලයේ දෙවන වාර්ෂික විද්‍යාත්මක සැසියේ මෙවර තේමාව වූයේ “ඔරොත්තු දීමේ හැකියාව බලගැන්වීම – තාක්ෂණය සහ අනුකම්පාව තුළින් තීරණාත්මක සත්කාර දියුණු කිරීම” (Empowering Resilience – Advancing Critical Care through Technology and compassion) යන්නයි.

උත්සව සභාව අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ මෙවර වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය සඳහා නූතන යුගයට ගැලපෙන කාලෝචිත තේමාවක් යොදා ගැනීම සම්බන්ධව සිය ප්‍රසාදය පළ කරන බවයි.

COVID-19 වසංගතය හමුවේ දැඩි සත්කාර සේවාවේ වැදගත්කම ඉහළින්ම ඉස්මතු වූ බවත්, තිරය පිටුපස සැබෑ වීරයන් ලෙස සෞඛ්‍ය සේවාව සතු සම්පත් කළමනාකරණය කරගනිමින් ජීවිත බේරා ගැනීම සඳහා දැඩි පීඩනයක් යටතේ දිගු වේලාවක් සේවා සැපයිමට දැඩි සත්කාර ක්ෂේත්‍රයේ විශේෂඥයින් කටයුතු කළ බව ද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා.

මෙරට සෞඛ්‍ය සේවාවේ ශක්තිමත්භාවය උදෙසා දේශීය සහ විදේශීය පුහුණුව ලත් වෛද්‍යවරුන්, මනා පුහුණුව ලත් හෙදියන් සහ සම සෞඛ්‍ය වෘත්තිකයන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකින් යුක්තව සිටීම අතිශය වැදගත් වූ බවද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම අවස්ථාවට ලෝක දැඩි සත්කාර සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය Javer Perez- Fernandaz, යුරෝපීය දැඩිසත්කාර වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය Jan De Waele, ඉන්දියානු දැඩිසත්කාර වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය Sirinivas Samavedam, ශ්‍රි ලංකා දැඩි සත්කාර විශේෂඥයින්ගේ විද්‍යාලයේ සභාපති වි‌හේෂඥ වෛද්‍ය දිල්ෂාන් ප්‍රියංකර මහතා ඇතුළු ශ්‍රි ලංකා දැඩි සත්කාර විශේෂඥයින්ගේ විද්‍යාලයේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් එක්ව සිටියා.

COMMENTS