ජාතික ධීවර යාත්‍රා සංගණනය අද ඇරඹෙයි

ධීවර දෙපාර්තමේන්තුව පැවසුවේ , අද සිට දිවයින පුරා වෙරළ තීරයේ ධීවර තොටුපොළ ආශ්‍රිතව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.
ඒ අනුව සියලුම OFRP හා MTRB යාත්‍රා මෙම සංගණනය සදහා ඉදිරිපත් කරන ලෙස ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය පැවසුවේ, ෆයිබර්ග්ලාස් බෝට්ටු ශ්‍රී ලංකාවේ ධීවර හා නාවික කර්මාන්තයට අත්‍යවශ්‍ය වුවද, භාවිතයෙන් ඉවත් කරන ලද බෝට්ටු විශාල පාරිසරික, සමාජීය හා ආර්ථික ගැටලුවක් බවට පත්ව ඇති බවයි.
නිසි බැහැර කිරීමේ ක්‍රමවේදයක් නොමැති වීම නිසා, මේවා ක්ෂුද්‍ර ප්ලාස්ටික් බවට පත් වී සාගර පරිසර පද්ධතිවලට හානිකර වන අතර, විෂ රසායනික ද්‍රව්‍ය ජලයට හා පසට කාන්දුවීම සිදුවෙයි.
මදුරුවන් බෝවීම සහ වෙරළ තීරයේ සුන්දරත්වයට හානිවීමද මෙහි ඇති තවත් අහිතකර ප්රතිඵලයි.
ෆයිබර්ග්ලාස් ප්‍රතිචක්‍රීකරණය අපහසු හා මිල අධික ක්‍රියාවලියක් වන අතරම, බොහෝ විට ඒවා විනාශ කෙරෙන්නේ පුළුස්සා දැමීමෙන් ය.
මේ තත්ත්වය හමුවේ, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ධීවර අමාත්‍යාංශය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සියලුම ෆයිබර්ග්ලාස් බෝට්ටු පිළිබඳ සංගණනය අද සිට ආරම්භ වෙයි.
මෙම පියවර හරහා අබලන් වූ බෝට්ටු ඉවත් කිරීමට සහ තිරසාර ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේද හඳුන්වා දීමටද නියමිතයි.
එමගින් වෙරළබඩ පරිසරය පිරිසිදු කිරීම, ක්ෂුද්‍ර ප්ලාස්ටික් දූෂණය අවම කිරීම, රෝග කාරක ව්‍යාප්තිය පාලනය කිරීම සහ ධීවර කර්මාන්තයට අවශ්‍ය ඉඩකඩ නිදහස් කිරීම වැනි ජාතික ඉලක්ක සපුරා ගැනීමට හැකි වනු ඇති.