සමාජයේ විවිධ වෘත්තීන් නියෝජනය කරන සියලු පුරවැසියන් වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරනවා

සමාජයේ විවිධ වෘත්තීන් නියෝජනය කරන සියලු පුරවැසියන් වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරනවා

මෙරට ආර්ථිකය යළි ඉහළට ඔසවමින් ස්ථාවර ආරම්භයක් ලබා ගැනීමට මේ වන විට රජය සමත්ව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මැයි දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සමාජයේ විවිධ වෘත්තීන් නියෝජනය කරන සියලු පුරවැසියන් වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීමට රජය විසින් කටයුතු කර ඇති බවය.

එමෙන්ම කම්කරු ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීමට හා ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා සිය මැයි දින පණිවිඩය මගින් පෙන්වා දී තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

1886 වසරේ මැයි මස 01 වන දින ඇමෙරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරශ්‍රයේදී, පැය 08ක සේවා මුරයක් ඉල්ලා විරෝධතාවක නිරත වෙමින් සිටියදී එල්ල වූ මර්දනීය වෙඩි ප්‍රහාරයෙන් රුධිරය වැගිරූ කම්කරුවන් සදාතනිකව සිහි කිරීමට 1889 වසරේ රැස් වූ දෙවන කොමියුනිස්ට් ජාත්‍යන්තරය තීරණය කළ අතර එතැන් පටන් සෑම වසරකම මැයි පළමුවන දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයා ප්‍රමුඛ පොදු ජනතාව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ මෙරට දූෂිත, ප්‍රභූ දේශපාලනය අවසන් කර ජනතාවාදී පාලනයක් තුළ රටත්, සමාජයත් ගැඹුරු සාධනීය පරිවර්තනයකට ලක් කරමින් තිබෙන අවස්ථාවකය. පවුල් සහ පරම්පරා කිහිපයක් 76 වසරක් පුරා තට්ටු මාරු ක්‍රමයට ගෙන ගිය දූෂිත පාලනය නිමා කර මෙරට දේශපාලනයේ සුවිශේෂී හැරවුමක් සනිටුහන් කිරීමට ඉකුත් ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ජාති, ආගම් භේදයකින් තොරව මෙරට සිව් දෙස ජනතාව විසින් කටයුතු කරනු ලැබිණි. එකී ජනවරමේ අපේක්ෂා සාක්ෂාත් කරමින් මේ වන විට රට ආර්ථික, සාමාජයීය සහ දේශපාලන වශයෙන් පුළුල් පරිවර්තනයකට ලක් කිරීමට ජාතික ජන බලවේගයේ අපි කටයුතු කරමින් සිටින්නෙමු.

දුෂිත, ප්‍රභූ දේශපාලන ක්‍රමය තුළ පතුලටම ඇද දමා තිබූ මෙරට ආර්ථිකය යළි ඉහළට ඔසවමින් ස්ථාවර ආරම්භයක් ලබා ගැනීමට මේ වන විට අපි සමත් වී සිටිමු. එහි පැහැදිලි සංඥාවන් දැනටමත් සියලුදෙනාට පෙනෙන්නට තිබේ. රජයේ පළමු අයවැයේදීම ඉතිහාසයේ කිසි දා නොවූ අයුරින් රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නැංවීම ඇතුළු ගොවි ජනතාව, ධීවර ජනතාව, තරුණයින්, කාන්තාවන්, සිසුන් පමණක් නොව නිෂ්පාදකයන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, විවිධ වෘත්තීන්හි නිරත වන්නන් ආදී සමාජයේ සියලුදෙනා වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීමට අපි කටයුතු කර ඇත්තෙමු. එසේම වතුකරයේ කම්කරු ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීමට හා ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් තහවුරු කිරීමටද අපි කටයුතු කරමින් සිටිමු.

දිනෙන් දින අලුත් වන නිෂ්පාදන බලවේගවලට සමගාමීව අප භුක්ති විඳින අයිතිවාසිකම්හි නව පරිච්ඡේදයක අවශ්‍යතාව අපි දකිමු. 1948 මානව හිමිකම් න්‍යාය පත්‍රයේ නොතිබූ, ඩිජිටල් ප්‍රවේශ අයිතිවාසිකම්, පාරිසරික අයිතිවාසිකම් ආදියද ඇතුළත්ව වෙනස් වන දේශපාලන පද්ධතින්හි මතු වීම සහ ලෝක සාමය තහවුරු කරමින්, නව සංවර්ධන අවශ්‍යතා මත පදනම්ව මානව හිමිකම් පිළිබඳ යාවත්කාලීන වූ විශ්ව ප්‍රකාශනයක අවශ්‍යතාව වත්මන් සමාජය ඉල්ලා සිටී. ඒ පිළිබඳව සංවේදී වීම සහ මැදිහත් වීමේ අවශ්‍යතාවද ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මේ අවස්ථාවේ අපි යළි සිහිපත් කරමු.

ජාත්‍යන්තර භූ දේශපාලනික වෙනස්කම් සහ අභියෝග හමුවේ නොසැලෙන ආර්ථිකයක් ගොඩනැංවීම වෙනුවෙන් වෙහෙසෙන මෙරට වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරමින් හා ප්‍රවර්ධනය කරමින් දූෂිත ප්‍රභූ දේශපාලනය බිද හෙළූ මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කර “ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරමින්, වැඩ කරන ජනතා අයිතින් සුරක්ෂිත කෙරෙන අර්ථවත් වූ ජාත්‍යන්තර කම්කරු දිනයකට ශුභාශිංසන එක් කරමි.

මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය මැයි දින පණිවිඩය මගින් පෙන්වා දී ඇත්තේ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ මෙවර මැයි දිනය සමරන බවය.

එමෙන්ම ජනතාවාදී රජයක් ලෙස ජනතා අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් විකෘති මාවතක ගමන් ගත් මෙරට යළි ප්‍රකෘති මාවතකට ගැනීමට රජය වෙහෙස දරමින් සිටින බවත් ඇය සිය මැයි දින පණිවිඩය මගින් පෙන්වා දී තිබේ.

වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ ⁣ 139 වන ලෝක කම්කරු දිනය සමරමු.

හැත්තෑ පස් වසරක් පුරා පාලක පන්තියේ තාඩනපීඩන මතින් නැගී සිටිමින් දුෂිත දේශපාලනය මුලිණුපුටා දමමින් ජනතාවගේ රජයක් යටතේ මෙවර කම්කරු දිනය සැමරීම ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරයි.

කල්ලිවාදය, දෙශපාලන හිතවත්කම් සහ ගජමිතුරු සැලකීම් හමුවේ අසාධාරණයට පත්ව සිටි වැඩ කරන ජනතාව 2024 වර්ෂයේ අභියෝගාත්මක තීරණයක් ගනිමින් ⁣සමස්ථ දේශපාලන සංස්කෘතිය උඩුයටිකුරු කිරීම අගාධයට ඇද දැමූ රට ගොඩ ගැනීමට ගත් අභිත ව්‍යායාමයකි.

ජනතාවාදී රජයක් ලෙස ජනතා අවශ්‍යතා මැනවින් හදුනාගනිමින් විකෘති මාවතක ගමන් ගත් ආර්ථික, දේශපාලන, සාමාජයීය, සංස්කෘතික මෙන්ම නෛතික රාමුවද යළි ප්‍රකෘති මාවතකට ගැනීමට අපි මහත් වෙහෙසක් දරමින් සිටිමු.

වසර ගණනාවක් පුරා මෙරට වෙලාගත් දූෂණය හා අසාධාරණය එක රැයකින් වෙනස් කිරීම කළ නොහැකි වුවද රජය ක්‍රමාණුකූලව සියල්ල ක්‍රමවත් කරමින් ජනතා අවශ්‍යතා වෙනුවෙන් ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරමින් තිබේ.

රාජ්‍ය, පුද්ගලික, ව්‍යවසාය, කම්කරු ඇතුළු සමස්ථ වැඩකරන ජනතාවගේ ආර්ථික බලවේගයන් ශක්තිමත් කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර රට අහරින් ස්වයංපෝෂිත කිරීමට පෙරමුණ ගන්නා ගොවි ජනතාව ශක්තිමත් කිරීමටද සුදානම්ය.

අප පසුකරමින් සිට්න්නේ ජනතාවගේ ආරක්ෂාව, ස්වාධිනත්වය, අයිතීන් ආරක්ෂා කරමින් වඩාත් ස්ථාවර විශ්වාසනීය අනාගතයක් ලඟා කර ගැනීමට එක්ව කැපවිය යුතු කාලයකි.

දිනු අයිතීන් සුරකිමින් රට ගොඩනගන්නට එකාවන්ව එක්ව අධිෂ්ඨානයෙන් කටයුතු කරමු.

COMMENTS