වන්දනාකරුවන්ගේ වාහනවලට නුවර දොරටු වැසේ

‘දළදා දැක්ම’ සඳහා ලක්ෂ හතරහාමාරක පමණ සැදැහැවතුන් පිරිසක් දැනටමත් මහනුවර නගරයට හා අවට ප්‍රදේශයට පැමිණ තිබෙන බැවින් නැවත දැනුම් දෙන තුරු වන්දනාකරුවන් රැගත් වාහන නගරයට ඇතුළු කර නොගන්නා බව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පැවසීය.
එලෙස පැමිණි බස් රථ 32ක් ගන්නෝරුව ප්‍රදේශයේදී පෙරේදා (23 වැනිදා) රාත්‍රියේ නතර කළ බවද ඒ මහතා කීවේය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (24 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙසේද පැවසුවේය.
‘‘වන්දනාකරුවන් රැගෙන කුරුණෑගල දෙසින් එන බස්රථ මාවතගම පොලිස් වසමේ මැටිබොක්ක ප්‍රදේශයේදීත්, දඹුල්ල දෙසින් එන වාහන අළුවිහාරේදීත්, මහියංගණ දිගන මාර්ගයේ එන වාහන හසලක ප්‍රදේශයේදීත්, හඟුරන්කෙත දෙසින් එන වාහන මයිලපිටියේදීත්, ගම්පොළ දෙසින් එන වාහන වැලිගල්ලේදීත් සහ කෑගල්ල දෙසින් එන වාහන මාවනැල්ලේදීත් නතර කිරීමට පොලිසියට දැනුම් දී තිබෙනවා. එම බස්රථවල පැමිණෙන ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන මගින් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ඉතිරි දිනවලදී දළදා වහන්සේ වන්දනා කිරීමට ප්‍රමාණවත් ජන පිරිසක් මේ වනවිටත් මහනුවරට පැමිණ තිබෙන බැවින් අලුතින් එන අයට එම අවස්ථාව ලබාගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. තත්ත්වය කළමනාකරණය කරගැනීමට හැකි වුවහොත් දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසුවන සැදැහැවතුන්ට මහනුවරට පැමිණෙන ලෙස නැවත දැනුම් දීමක් කරනවා.
මැතිවරණ කාලසීමාවක් වුවත් පොලිස් නිලධාරීන් දසදහසක් හා යුද හමුදාවේ හයදහස් පන්සියයක් ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා. සැදැහැවතුන් පෝලිම් කිරීම සඳහා සකස් කර තිබෙන බට වැටේ සීමාව ඉක්මවා කිලෝ මීටර් 10ක් පමණ දුරට පෝලිම්වල ජනතාව රැඳී සිටිනවා. පෙරේදා (23 වැනිදා) වන්දනාකරුවන්ගේ පැමිණීම සීමා කරන්න සිදු වුණා. නගරයට තවදුරටත් ජනතාව පැමිණීම වැළැක්විය යුතු බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. විශාල ප්‍රදේශයක මහ ජනතාව එක්රැස්වීමෙන් විවිධ සමාජ හා සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් පවතිනවා. ඉදිරි දින දෙකේ දී දළදා වහන්සේ වන්දනා කිරීමේ අරමුණින් මහනුවරට පැමිණීමෙන් වළකින ලෙස දැනුම් දෙන්නේ ඒ නිසයි.’’
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී. අභයකෝන් මහතා ද මෙසේ අදහස් දැක්වූයේය.
‘‘දළදා දැක්ම වෙනුවෙන් සංවිධාන කටයුතු සිදු කරන කණ්ඩායම දෛනිකව රැස්වී ඉදිරියේ දී ගත යුතු තීරණ සාකච්ඡා කරනවා. ආහාර හා පානීය ජල අවශ්‍යතා සපුරාලිය හැකි වුවත් සනීපාරක්ෂක පහසුකම් සැලසීම සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුවිය හැකියි. මේ නිසා පවතින සැබෑ තත්ත්වය ජනතාවට දැනුම් දිය යුතු බවට කමිටුව තීරණය කළා. තවදුරටත් ජනතාව මහනුවරට ඇතුළු වුවහොත් විශාල තෙරපීමක් ඇතිවිය හැකියි. යුද හමුදාවේ 500ක පමණ පිරිසක් අලුතින් මහනුවර කැඳවීමට ආරක්ෂක ලේකම් සමග සාකච්ඡා කළා. මහනුවර නගරයට යම් ආකාරයෙන් වැසි පතිතවීමත් ගැටලුවක්.’’
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ඇතුළු පිරිසක් සහභාගි වූහ.