වාර්තාගත අඹ අස්වැන්නක් – මිලත් බසී

ලංකාවේ අඹ අස්වැන්න වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
2023 වර්ෂයේ පැවැති දීර්ඝ කාලීන වියලි කාලගුණයෙන් පසු ඇතිවු වර්ෂාව අඹ අස්වැන්න ඉහළ යාමට හේතුවී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
රුපියල් 800ත් 1000ත් අතර මිලක පැවති TEJC අඹ කිලෝව මේ වන විට රුපියල් 400-500 අතර මිලක් දක්වා පහත වැටී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ වනවිට දිවයින පුරා අක්කර දහස් ගණනක අඹ වගා කරන අතර අපනයනය ඉලක්ක කර ගනිමින් වගා කරන TEJC අඹ ප්‍රභේදය අසීමාන්තිකව වගා කිරීම නිසා මිල පහල යාම මගින් නිෂ්පාදනය අඩාල විය හැකි බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
මෙම තත්ත්වය යටතේ අඹ වගාව තවදුරටත් ව්‍යාප්ත කළ යුතු දැයි විද්‍යාත්මක වාර්තාවක් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති පශ්චාත් අස්වනු තාක්ෂණ ආයතනයේ දත්ත අනුව මෙරට වගා කෙරෙන සියලුම අඹ ප්රබේදවල වාර්ෂික අඹ අස්වැන්න ගෙඩි මිලියන 250ක් පමණ වේ. නමුත් 2023/24 අඹ වාරයේ එම ප්‍රමාණය ඉක්මවා ගිය අස්වැන්නක් ලැබී ඇතැයි දැනට සිදු කර තිබෙන දත්ත එක්රැස් කිරීම් මගින් තහවුරු වී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.