සරම්ප දෙවන රැල්ලක් මතුවීමේ අවදානමක්

සරම්ප දෙවන රැල්ලක් මතුවීමේ අවදානමක්

සරම්ප රෝගය මාරාන්තික රෝගයක් වන නමුත් අදාළ එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා යොමු වීමෙන් එය පහසුවෙන් වළක්වා ගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙන්නේ මේ වනවිට දිස්ත්‍රික්ක 10ක පැතිර ඇති සරම්ප රෝගයේ දෙවැනි රැල්ලක් මතුවීමේ අවදානමක්ද පවතින බවයි.

ශ්වසන පද්ධතිය ආශ්‍රයෙන් මෙම වෛරසය ශරීරගතවීමෙන් යම් පුද්ලයෙකුගේ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වෙනවා.

මෙම වෛරසය නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරට ඇතුළු වී සති දෙකක පමණ කාලයක් යන විට රෝගය වැළඳීම සිදු වන බවයි වාර්තා වන්නේ.

තද උණ ගතිය, කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව, නාසයෙන් සොටුදියර ගැලීම සහ ඇස් රතුවීම සරම්ප රෝග ලක්ෂණ ලෙස හඳුනාගත හැකියි.

එක් සරම්ප රෝගියෙකුගෙන් සරම්ප එන්නත ලබා නොගත් නිරෝගී පුද්ගලයින් 18 දෙනෙකුට වෛරසය ආසාදනය වීමට හැකියාවක් පවතිනවා.

රෝගය වැළඳුණු අවස්ථාවේ මෙන්ම වසර ගණනකට පසුවත් සංකූලතා මතු විය හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙන්නේ.

මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සරම්ප යැයි සැක සහිත රෝගී දරුවන් 15 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් 7 දෙනෙකු නිශ්චිත වශයෙන්ම සරම්ප රෝගීන් බවට අද වන විට තහවුරු කරගෙන තිබෙනවා.

ඇතැම් පිරිස් ආගමික විශ්වාසයන් සහ ඇදහිලිවලට අනුව එන්නත්කරණ වැඩසටහන්වලට යොමුවීමේ මැලිකමක් දක්වන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මේ අතර UNICEF සංවිධානය, ශ්‍රී ලංකාවේ අතිරේක සරම්ප එන්නත් කිරීමේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහාය ලබා දී ඇති බව වාර්තා වේ.

එන්නත් වැඩසටහනේ පළමු අදියර ජනවාරි 06 වැනි දා දිස්ත්‍රික්ක 09ක පිහිටි 1,600කට වැඩි සායන සංඛ්‍යාවකින් ආරම්භ වීමට නියමිත බව සඳහන්ය.

2023 වසරේ මැයි මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ සරම්ප රෝගීන් 700කට වැඩි පිරිසක් වාර්තා වී ඇත.

මෙම අතිරේක සරම්ප ප්‍රතිශක්තිකරණ වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන බව වාර්තා වේ.