ඖෂධ හිඟයෙන් රෝහල් වැසෙන ලකුණු ?

ඖෂධ හිඟය හේතුවෙන් ජාතික වකුගඩු රෝහල ඇතුලු දිවයිනේ වකුගඩු රෝහල්වල ශල්‍ය කර්ම ඉදිරියේදී ඇනහිටීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ ඹෟෂධ තොග නිසි පරිදි පවත්වා නොගැනීම හේතුවෙන් බළධාරීන් වැඩි මිලට ඖෂධ මිලදී ගැනීමේ සුදානමක් ද ඇති බවයි.
මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2022 වර්ෂයේ වසරේ දෙසැම්බර් 31 වන විට පුද්ගලික,රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වලින් අයවිය යුතු රුපියල් මිලියන 28.47 ක් වසර 05 කට වැඩි කාලයක සිට අයකරගෙන නොමැති බව විගණකාධිපති වාර්තාවක දැක්වෙනවා. එමෙන්ම අවුරුද්දත් අවුරුදු 05ත් අතර කාලය තුල අයවිය යුතු රුපියල් මිලියන 29.11ක් අය කර ගැනීමට අපොහොසත් වී ඇති බවද එහි සඳහන්.
එම අය කර නොගත් මුදල් අතරට ශ්‍රී ලංකා පාර්ලිමේන්‍තු සංකීර්ණයෙන් අයවිය යුතු රුපියල් මිලියන 14.62ක් ද ඇතුළත්.
වෛද්‍ය සැපයුම් අංශයට තත්ත්වයෙන් අසමත් හා හානී වු සහ කල් ඉකුත් වු ඖෂධ සපයා තිබීම හේතුවෙන් දරන ලද මුළු පිරිවැය සැපයුම්කරුවන්ගෙන්ම අයකරගත යුතු වුවද 2022 දෙසැම්බර් 31 වන විටත් ඒ සඳහා අයවිය යුතු රුපියල් මිලියන 1529,83 ක් අය කර ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කර නොමැති බවත් විගණකාධිපති වාර්තාවේ සඳහන්.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අසාදු ලේඛනගත සැපයුම්කරුවන්ගෙන් අයකර ගතයුතුව තිබු රුපියල් මිලියන 306.11ක් අය කරගැනීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව නිරීක්ෂණය වු බවයි.