ආසියාවේ විශිෂ්ඨතම විද්‍යාඥයන් 100 අතරට ශ්‍රී ලාංකිකයින් 4ක්

ආසියාවේ විශිෂ්ඨතම විද්‍යාඥයන් 100 අතරට ශ්‍රී ලාංකිකයින් 4ක්

ලොව සුප්‍රකට ‘ඒෂියන් සයන්ටිස්’ (ASIAN SCIENTIST) සඟරාව විසින් 2023 වසරේ විශිෂ්ඨතම ආසියානු විද්‍යාඥයන් 100 අතරට ශ්‍රී ලාංකිකයන් 04දෙනෙකු නම් කර තිබෙනවා.

Asian Scientist යනු සම්මානලාභී විද්‍යා සහ තාක්ෂණ සඟරාවක් වන අතර එය ආසියාවේ විද්‍යා ක්‍රියාකාරකම්වලට අදාළ පුවත් ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත වාර්තා කරනු ලබනවා.

සඟරාව ප්‍රකාශයට පත් කරනු ලබන්නේ සිංගප්පූරුවේ මූලස්ථානය වන Wildtype Media Groupහි ආසියාවේ ප්‍රමුඛතම STEM සහ සෞඛ්‍ය සේවා මාධ්‍ය සමාගම විසින්.

‘ඕෂන්ස්වෙල්’ නිර්මාතෘ ආශා ඩිවෝස්, වෛද්‍ය රොහාන් පෙතියාගොඩ, කොළඹ විශ්වවිද්‍යාලයේ චතුරංග රණසිංහ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ අශානි සවින්ද රණතුංග ශ්‍රී ලංකාවෙන් එම ලැයිස්තුවට ඇතුළත් වූ විද්‍යාඥයෝ වනවා.

ආශා ඩිවෝස් සමුද්‍ර ජීව විද්‍යාඥවරියක්, අධ්‍යාපනඥයෙක් සහ නිල් තල්මසුන් පිළිබඳ පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකි. ඇය සමුද්‍ර ක්ෂීරපායී පර්යේෂණ පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වනවා.

ආචාර්ය රොහාන් පෙතියාගොඩ සත්ව විද්‍යාවෙන් 2022 ලිනියානු පදක්කම දිනාගත් අතර, එම පදක්කම ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්විය. ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්ව සංරක්ෂණය පිළිබඳ ඔහුගේ නිරන්තර පර්යේෂණ, ලේඛන සහ උපදේශනය ලොව පුරා පිළිගැනීමට ලක්ව තිබෙනවා.

චතුරංග රණසිංහ 2022 වසරේ 7 වැනි Sheikh Fahad Hiroshima-Asia Sports Medicine and Science Award ලබා ගත්තා.

මෙම සම්මානය වසර හතරකට වරක් ආසියාවේ වෛද්‍ය විශේෂඥයකුට ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවට දක්වන දායකත්වය වෙනුවෙන් පිරිනමනු ලබනවා.

කාර්මික සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කිරීම සහ පරිසර හිතකාමී ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතා කිරීම වෙනුවෙන් අශානි සවින්ද රණතුංග 2022 OWSD-Elsevier පදනමේ සම්මානයෙන් පිදුම්ලබා තිබෙනවා.