‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය අද ඇරඹේ

‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය අද ඇරඹේ

රැකියා අපේක්ෂිතයන්ගේ සිහින සැබෑ කරන ‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය 12, 13 සහ 14 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වෙනවා

මෙම ප්‍රදර්ශනය පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා නොමිලේ මහජනතාවට නැරඹිය හැකියි

එහි සමාරම්භක උළෙල අද (12) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වනවා.

මෙය ජාතික මට්ටමේ සම්මන්ත්‍රණයක් සහ ප්‍රදර්ශනයක් වන අතර නිපුණතා සහ කුසලතා සම්බන්ධ ජාතික හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් රැසක් එක් වන බව සඳහන්.

මෙම ප්‍රදර්ශනයේ දී ඉදිකිරීම් කර්මාන්ත නිපුණතා සභාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත නිපුණතා සභාව, නිෂ්පාදන සහ ඉංජිනේරු ආංශික නිපුණතා සභාව, සංචාරක කර්මාන්ත නිපුණතා සභාව සහ කෘෂිකර්මාන්ත ආංශික නිපුණතා සභාව යන ආංශික නිපුණතා සභාවන්ට අදාළ කර්මාන්ත ක්ෂේත්‍රවල නැගී එන තාක්ෂණයන් මූලික වශයෙන් ඉදිරිපත් කෙරෙනවා.

මෙහිදී කර්මාන්ත සම්බන්ධයෙන් දැනට පවතින කාර්මික පුහුණු වැඩසටහන් පිළිබඳ ව ජනතාව දැනුම්වත් කිරීමටත්, රැකියා පුරප්පාඩු සම්බන්ධ දත්ත හුවමාරු කරගැනීමටත්, එම රැකියා සඳහා අයදුම් කිරීමටත් හැකියාව පවතිනවා.

එමෙන්ම පෞද්ගලික අංශයේ නිපුණතා සහ ශ්‍රම අවශ්‍යතාවන් පිළිබඳ දැනුම්වත් කිරීම මෙහි තවත් අරමුණක්.

මීට අමතරව වර්තමාන ප්‍රවණතා සහ එම ක්ෂේත්‍රවල පවතින වෘත්තීය අවස්ථාවන් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා විශේෂ වෘත්තීය මගපෙන්වීමේ වැඩසටහන් පෙළක් ද මෙම ප්‍රදර්ශනයට සමගාමී ව සංවිධානය කර තිබෙනවා.