වැඩි පුර වතුර බොන්න අව්වේ යන්න එපා – සෞඛ්‍ය අංශ

උෂ්ණාධික තත්ත්වයෙන් දරුවන්ට සිදුවන අහිතකර බලපෑමෙන් වළක්වා ගැනීම සඳහා දෙමව්පියන් අවධානය යොමු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
ඔහු පවසන්නේ වැඩිපුර දියර භාවිතය මගින් උෂ්ණාධික කාලගුණයෙන් ඇති වන සංකූලතා අවම කර ගත හැකි බවය.
එමෙන්ම මේ දිනවල චර්ම රෝගවල වැඩිවීමක් දක්නට ලැබෙන බව ද පැවසු වෛද්‍යවරයා, කුඩාම දරුවන් වුවත් දිනකට දෙසැරයක් නෑවිම සුදුසු බව ද පැවසීය.
“රෝග ලක්ෂණ විදියට මහන්සිය, නිදිමත ගතිය, ඇඟපත රිදෙන එක, සමහර අයට වමනය යන්න එනවා ඒ වගේ රෝග ලක්ෂණ කිහිපයක් ඇති වෙනවා. ඊට අමතරව දරුවන් සහ අපි වැඩිපුර ජලය සහ ලවණ ගත්තේ නැත්නම් වැඩිපුර දාඩිය දැමීම නිසා තාප කම්පන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් අපිට වළක්වා ගන්න පුළුවන් වැඩිපුර දියර ආහාර ගන්න. ස්වභාවික දියර තමා අපි කියන්නේ, ඒ කියන්නේ ජලය සමග ලවණ තියෙන. ස්වභාවික පලතුරු යුෂ, දෙහි, දොඩම්, නාරං, දෙළුම් වැනි දේවල්, තැඹිලි වතුර, කුරුම්බා වතුර හා ජීවනි වගේ පානයන් අපිට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ සමේ රෝගත් වැඩිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම දාඩිය බිබිලි අපේ දරුවෝ අතර වැඩිවෙලා. දද වගේ දේවල්වලත් වැඩිවීමක් තියෙනවා. ඒ නිසා දරුවන්ට විනාඩි 20ක් විතර වතුරේ ඉන්න දෙන්න. පුංචිම දරුවෙක් වුණත් දවසට දෙසැරයක් නාන්න. ඒ තුළින් හමේ ඇති වෙන සංකූලතා අවම කරගන්න පුළුවන්.” යනුවෙන්
මේ අතර අද දිනයේ දිස්ත්‍රික්ක 8ක් හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර, වයඹ, උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල හා මොණරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර දක්වා ඉහළ යා හැකි බවය.
ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල අද දිනයේ සාමාන්‍ය උෂ්ණත්වයක් අපේක්ෂා කෙරේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන ආකාරයට උණුසුම ඉහළ ගොස් ඇති අවස්ථාවක ඔබ එළිමහනේ කටයුතු කරන අයෙක් නම් අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතුය.
ඊට අමතරව සෙවණ ඇති ස්ථානවල රැඳෙමින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමට ද එළිමහනේ කටයුතු කරන පුද්ගලයින් කටයුතු කළ යුතුය.
ඔබ වැඩ බිම් තුළ සිටින අයෙක් නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතුය.
නිවෙස් තුළ රැඳී සිටින වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් කුඩා දරුවන් වාහන තුළ රඳවා නොයන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.
එමෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් බලධාරීන් ජනතාවට දැනුම් දෙයි.