ඖෂධ හිඟයෙන් රෝගීන් අමාරුවේ, වළක්වාගත හැකි මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක්

රට තුළ පවතින ඖෂධ හිඟය තවදුරටත් පැවතියහොත් වළක්වාගත හැකි මරණ සංඛ්‍යාව ඉහළ යාහැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසන්නේ, ඇස්ප්‍රින් ඖෂධය පවා නොමැතිවීම හේතුවෙන් බෝ නොවන රෝගීන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් මතුවී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජයන්ත බණ්ඩාර,
“ඇස්ප්‍රින් ඖෂධය දැන් මාස 4ක සිට නැහැ. රුධිරය කැටිගැසීම අඩු කරන්න තමයි අපි මේ ඖෂධය භාවිත කරන්නේ. හෘද රෝගීන්ට, අංශභාගය සහිත රෝගීන්ට, දියවැඩියාව වැනි රෝගීන්ට මෙම ඖෂධය භාවිත කරනවා. ඇස්ප්‍රින් නැතිවුණාට පස්සේ මෙවැනි රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වෙලා. විශේෂයෙන්ම බෝ නොවන රෝගීන්.
ඒ වගේම වකුගඩු රෝගයට මාසිකව භාවිත කරන ඖෂධයකුත් මාස ගාණක් තිස්සේ සමහර තැන්වල නැහැ.
අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය නැති තත්ත්වයන් ද වාර්තා වෙනවා. සම්පූර්ණ රුධිර පරීක්ෂණ වැනි මූලික දෙයක්වත් කරගන්න බැරි තත්ත්වයකට පත්වෙලා.
සමහර තැන්වල ප්ලාස්ටර්වත් නැහැ. ඉතා බරපතළ තත්ත්වයක්. මේ නිසා රෝගීන්ට ප්‍රතිකාර කරන්න බැරි වෙලා. මේ නිසා ඉදිරියේ දී මරණ සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. අපි දිගින් දිගට ම මේ ගැන පැහැදිලි කළා. ආණ්ඩුව මැදිහත්වෙන ආකාරය ප්‍රමාණවත් නැහැ.
අපේ රටේ ලක්ෂ 30ක් විතර ඉන්නවා. බෝ නොවන රෝගීන්. ඔවුන් ශ්‍රම බළකායේ පිරිස්. ඔවුන්ගේ රෝග තත්ත්වයන් පාලනය නොවුණොත් ඔවුන්ට වැඩ කරගන්න බැරි වෙනවා. මේ තත්ත්වය ආණ්ඩුව හිතනවාට වඩා බරපතළයි.
ඒ වගේම අද වෙළෙඳපොලේ තිබෙනවා අනවශ්‍ය විටමින් වර්ග විශාල ප්‍රමාණයක්. ඒ සම්බන්ධයෙනුත් ආණ්ඩුව තීරණයක් ගන්න ඕනේ. ඖෂධ නොවන අත්‍යව්‍යශ නොවන ද්‍රව්‍ය ගැනත් මේ වෙලාවේ තීරණයක් ගන්න ඕනේ.” යනුවෙන්.