කාන්තාවන් වියපත්වීමත් සමඟ පියයුරු පිළිකා වැළඳීමේ ඉහළ අවදානමක්

කාන්තාවන් වියපත්වීමත් සමඟ පියයුරු පිළිකා වැළඳීමේ ඉහළ අවදානමක්

මෙරටින් සෑම දිනකම පියයුරු පිලිකාවලට ගොදුරු වූ කාන්තාවන් 12 දෙනෙකු හදුනා ගන්නා බව පිලිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

එලෙස පියයුරු පිළිකා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇත්තේ ඒ පිළිබඳ පරීක්ෂණ පහසුකම් පුළුල්වීම හේතුවෙන් බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

පසුගිය වසරවලට සාපේක්ෂව මේ වනවිට පියයුරු පිළිකා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පියයුරු පිළිකා රෝගයට ගොදුරු වූ කාන්තාවන් 12 දෙනෙකු පමණ දෛනිකව මෙරටින් හඳුනා ගැනෙනවා.

එමෙන්ම බොහෝ කාන්තාවන් පියයුරු පිළිකා පරීක්ෂණ සිදුකිරීම සඳහා වැඩි උනන්දුවක් දක්වන බව ද එම වෛද්‍ය සංගමය පවසනවා.

සෑම වසරකම ඔක්තෝබර් මාසය සැලකෙන්නේ පියයුරු පිළිකා වැළැක්වීම හා ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙසයි.

කාන්තාවන් වියපත්වීමත් සමඟ පියයුරු පිළිකා වැළඳීමේ ඉහළ අවදානමක් පවතින අතර, මෙම පිළිකා කලින් හඳුනා ගැනීමෙන් සම්පූර්ණයෙන්ම සුවකළ හැකියි.

මේ අතර, යෝජිත ජාතික ඖෂධ ප්‍රතිපත්තිය වසර 5ක් මුළුල්ලේ ක්‍රියාත්මක නොකිරීම නිසා ඖෂධ නියාමනය සහ රෝගී ජීවිත අනතුරේ වැටී ඇති බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් වැඩිදුරටත් පවසන්නේ විද්වත් මණ්ඩලයක් මගින් සකස් කළ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකිරීමෙන් ඖෂධ නිෂ්පාදනය බෙදා හැරීම, නියාමනය ඇතුළු ඖෂධ ලබාදීමේ යාන්ත්‍රණය මුළුමණින්ම දූෂණ, වංචා සහ අක්‍රමිකතාවන්ගෙන් සමන්විත බව පෙනී යන බවයි.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීමත්, ඖෂධ නියාමන අධිකාරිය නිසි කාර්යක්ෂමතාවකින් කටයුතු නොකිරීමත් නිසා තත්ත්වයෙන් බාල ඖෂධ පවා ශ්‍රී ලංකාවට පැමිණීමට වැඩි ඉඩකඩක් පවතින බව ද එම නිවේදනයේ සඳහන්.

එම නිසා යෝජිත ජාතික ඖෂධ ප්‍රතිපත්තිය වහා ක්‍රියාත්මක කිරීමත්, මුහුදු තීරය ආශ්‍රිතව පවතින ඔසුසැල් හදිසි වැටලීම් මගින් තත්ත්වයෙන් බාල ඖෂධ නීත්‍යනුකූල නොවන ක්‍රමවලින් රට තුළට පැමිණ ඇතිදැයි පරීක්ෂා කිරීම ඇතුළු නියාමන යාන්ත්‍රණයක් ඖෂධ නියාමන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ යුතු බව එම සංගමය අවධාරණය කරනවා.