බාල බෙහෙත් ගැබිණි මව්වරු 98%කට පොවලා

ගර්භනී මවුවරුන්ට සහ ඇතැම් රෝගීන්ට ලබාදෙන ෆෝලික් ඇසිඩ් පෙති ( folic acid tablets BP1mg) කෝටි 55,245 කට වැඩි ප්‍රමාණයක් (මිලියන 552,452) තත්වයෙන් අසමත්වීම හේතුවෙන් ඉවත් කර ඇතත් ඒවා ඒ වනවිටත් රෝගීන්ගෙන් 98% කට ලබාදී තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වී ඇත.
එම වාර්තාවේ දැක්වෙන අන්දමට මෙම පෙති මිලදී ගෙන ඇත්තේ 2013, 2014 සහ 2015 යන වර්ෂ සදහා වන අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටියකට ආසන්න බවට වාර්තා වී ඇත.
මේ අතර රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න වටිනා එන්නත් තොගයක් තත්වයෙන් අසමත්වීම හේතුවෙන් භාවිතය අත්හිටුවන ලෙසට 2016 වර්ෂයේදී චක්‍රලේඛය නිකුත් කරන විටද එහි ජීව කාලය අවසන්වී තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
කෙසේ වෙතත් එම එන්නත්වලින් 99% ඒ වන විටත් පාවිච්චි කර අවසන්වී ඇති බව එම කාරක සභාව පවසයි.
කෝපා කාරක සභාවේ දී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් පැවසුවේ ඖෂධය ලැබුණු වහාම තත්වයෙන් අසමත් බව හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් පවතී නම් අලාභය සැපයුම්කරුවන්ගේ ඇපකරයෙන් අයකරගැනීමට හැකියාව ලැබෙන බවයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ 60ක තත්ත්ව පරීක්ෂාව සිදු කළ හැකි නම් මෙම තත්වය තරමක් දුරට හෝ මඟහරවා ගත හැකි බවද ඔවු එම කමිටුවට පෙන්වා දී තිබෙන අතර මෙම අයකිරීම්වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මසක් ඇතුළත යොමු කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට නිර්දේශ කර තිබෙන බවට වාර්තා වී තිබේ.