පන කෙන්ද රැක ගන්නවත් බෙහෙත් නැහැ

පන කෙන්ද රැක ගන්නවත් බෙහෙත් නැහැ

රෝගීන් සඳහා අත්‍යවශ්‍යයෙන් ම දිය යුතු ඖෂධ වර්ග 300ක පමණ බරපතළ හිඟයක් පවතින අතර ජීවිත ආරක්ෂාවට ඍජුව බලපාන අත්‍යවශ්‍යම ඖෂධ වර්ග 25ක් රජයේ කිසිම රෝහලක නොමැති බව වාර්තා වෙනවා.

දරුණු හෘද රෝගවලට දෙන ඖෂධ ද, පිළිකා රෝගීන්ට දෙන ඖෂධ හා එන්නත් වර්ග ද, දියවැඩියාවට දෙන ඉන්සියුලින් වැනි එන්නත් ද ප්‍රතිජලභීතිකා ඖෂධ රජයේ රෝහල්වල නොමැති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.

මෙම ඖෂධ වර්ග 25 පෞද්ගලික අංශයේ ෆාමසිවලින් පවා මිල දී ගැනීමට නොහැකි තත්ත්වයක් අද උදාවෙලා තියෙනවා.

මෙවැනි තත්ත්වයක් රටේ උදාවීමට ප්‍රධාන ම හේතුව ඩොලර් හිඟයම පමණක් නොවන බවත් විශේෂයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපති සහ ප්‍රධාන පරිපාලන නිලධාරිගේ (CO) අකාර්යක්ෂමතාව හා දුර්වල පරිපාලනය බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලෝකයේ බොහෝ රටවල ඖෂධ නියාමන අධිකාරිවල සභාපති හා ප්‍රධාන පරිපාලන නිලධාරි ලෙස බඳවා ගන්නේ වසර 25ක පමණ ඖෂධ නියාමනය හා අදාළ රෙගුලාසි පිළිබඳ දැනුම හා අත්දැකීම් ඇති අය බව යථාර්ථයකි. බොහෝ අය ප්‍රශ්න කරන්නේ ඉහත සඳහන් ප්‍රධාන නිලධාරීන් දෙදෙනාටම එවැනි දැනුමක් හා අත්දැකීම් තිබෙනවා ද යන්න ය.

මේ අතර, මෙරට රෝගීන්ට ඍජුව ම බලපාන බෙහෙත් හිඟයට උදව්වක් ලෙස එතෙර රැකියාවල යෙදී සිටින හා විදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයන් සංවිධාන හිඟ බෙහෙත් වර්ග මෙරටට නොමිලයේ සැපයීමට අවශ්‍ය කටයුතු කළත් ඖෂධ නියාමන අධිකාරියේ පවතින අකාර්යක්ෂමතාව සාර්ථකව එම ඖෂධ මෙරටට එවීමට අපහසුතාවක් මතුව තිබෙන බවට පැමිණිලි තිබේ.

ජීවිතාරක්ෂාවට අනිවාර්යයෙන් ම දිය යුතු එහෙත් රජයේ රෝහල්වල නැති ඖෂධ වර්ග 25 මෙසේ ය. සංඛ්‍යා ලේඛනවලින් දැක්වෙන්නේ මසකට අවශ්‍ය ඖෂධ ප්‍රමාණයයි.