අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වල හිඟයක්

ඉදිරි සති 2 තුල දිවයින පුරා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වල හිඟයක් ඇති වන බවට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අනතුරු අඟවනවා.
එහි සභාපති අජිත් තිලකරත්න කියා සිටියේ, මේ වන විටත් පිළිකා සහ වකුගඩු රෝග සඳහා ලබා ගන්නා ඖෂධ අඩු මට්ටමක පවතින බවයි.
මේ සම්බන්ධයෙන් අප විෂයභාර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ, ප්‍රමුඛතාව අනුව රටට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොර ව ආනයනයට රජය පියවර ගෙන ඇති බවයි.
මේ අතර, නුදුරේ දී ම ඖෂධ මිල ඉහළ දැමීමට පියවර ගන්නා බව ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.
ඊයේ සිට ඖෂධ ආනයනය කරන සමාගම් ඔසුසැල් වෙත ඖෂධ බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි පෞද්ගලික උසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද ප්‍රකාශ කළේ.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීමට ඉඩ හැරීම නිසා ඩොලරයේ අගය ඉහළ යාම මීට හේතු වී ඇති බව ද ඔහු සදහන් කළා.
කෙසේ වෙතත්, ඖෂධ ආනයනකරුවන් ඉල්ලා ඇත්තේ ඖෂධ මිල වැඩි කිරීමෙන් පසු ඖෂධ වර්ග 75ක් සදහා පනවා ඇති මිල පාලනය ද ඉවත් කළ යුතු බවයි.
අප මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්තගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මිල වැඩි කිරීමට අදාළව මූලික කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවයි.
ඒ අනුව මෙම සතියේදී හෝ ලබන සතියේ ඖෂධ මිල ඉහළ දැමීමට පියවර ගන්නා බව සභාපතිවරයා සදහන් කළා.