පහළ කඩුගන්නාව නායයාම සිදුවූ ස්ථානයේ ගල් ඉවත් කිරීම අද

පහළ කඩුගන්නාව නායයාම සිදුවූ ස්ථානයේ ගල් ඉවත් කිරීම අද

කොළඹ – නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාම සිදුවූ ස්ථානයේ ගල් ඉවත් කිරීම අද(23) සිදු වේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස මහතා පැවසුවේ, තවත් අස්ථාවර ගල් කුට්ටියක් එම ස්ථානයේ පවතින බවයි.

නායයෑම සිදුවූයේ, ආපන ශාලාවක් සහිත මහල් නිවසක් මතට ගල් සහ පස් පෙරලීමෙන්.

ඊට පතිත වූ ගල, පුපුරුවා හැරීම සදහා කටයුතු සම්පාදනය කර ඇතැයි ගාමිණී ජයතිස්ස මහතා සදහන් කළේ ය.

පවතින තත්වය හමුවේ කොළඹ – මහනුවර මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් තවදුරටත් වසා දමා තිබේ.

පොලීසිය සදහන් කළේ, එම මාර්ගය භාවිත කරන රථ වාහන වලට විකල්ප මාර්ග හඳුන්වා දී ඇති බවයි.

ඒ අනූව, කොළඹ සිට පැමිණෙන වාහන, කුරුණෑගල හරහා මහනුවර දක්වාත්,

කරඬුපන හරහා මහනුවර දක්වාත් ගමන් කළ හැකියි.

කොළඹ සිට මාවනැල්ල, හෙම්මාතගම, ගම්පොළ හරහා මහනුවර දක්වා මෙන්ම, කොළඹ සිට මාවනැල්ල ගනේතැන්න හන්දියෙන් කෝවිල් කන්ඳ හරහා පිළිමතලාව ඔස්සේ මහනුවරට ගමන් කළ හැකිය.

අදාළ ස්ථානය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවන්නේ, යුද හමුදාවේ දායකත්වයෙනි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් මාවනැල්ල සහ කඩුගන්නාව ඩිපෝ හරහා විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඊයේ පෙරවරු 8.45 ට පමණ සිදුවූ නායයෑමෙන් කාන්තාවක් ඇතුලු පුද්ගලයින් හය දෙනෙකු මිය ගියේය.

66 හැවිරිදි ආපන ශාලා හිමිකරුගේ පියා සහ 39 හැවිරිදි ආපන ශාලා හිමිකරුගේ බිරිඳ මියගිය පුද්ගලයින් අතරට ඇතුළත් වේ.

මියගිය අනෙක් පුද්ගලයින්, තේ පානය සඳහා ආපන ශාලාවට පැමිණ සිටි අයයි.

ඔවුන්, අවුරුදු 31, 60, 39 සහ 33 යන වයස්වල පසුවන, මාවනැල්ල, බලවත්ගම, ඇඹිලිපිටිය සහ ගම්පොළ ප්‍රදේශවල පදිංචිකරුවන්.

සිරවී සිටි පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම්, සිදු කෙරුණේ, යුද හමුදාව, පොලීසිය, මහනුවර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙනි.

පස් සහ ගල් වලට යටවූ සියලු පුද්ගලයින් සොයා ගැනීමෙන් අනතුරුව, ඊයේ රාත්‍රී 7.20ට පමණ මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කෙරුණි.

COMMENTS