නේපාල අරගලකරුවෝ බන්ධනාගාර දෙකක් බිඳ දමයි

නේපාලයේ බන්ධනාගාර දෙකක් විරෝධතාකරුවන් විසින් බිඳ දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විරෝධතාකරුවන් බන්ධනාගාර සංකීර්ණයට කඩා වැදීමෙන් පසු බන්ධනාගාරයේ සිටි රැඳවියන් 773 දෙනෙකු පළා ගිය බව කස්කි දිස්ත්‍රික්කයේ පොලිසිය තහවුරු කර තිබෙනවා.
එමෙන්ම ඩැං පළාතේ තුල්සිපූර් හි ප්‍රාදේශීය පොලිස් කාර්යාලය පැවසුවේ, සිරකරුවන් 127 දෙනෙකු තුල්සිපූර් බන්ධනාගාරයෙන් පළා ගොස් ඇති බවයි.
මේ අතර,විරෝධතාකරුවන් රජයේ කාර්යාල කිහිපයක්ද විනාශ කර ගිනි තැබුවා.
තවත් විවිධ ප්‍රදේශවල බන්ධනාගාරවලින් පැන යාමේ අවස්ථා පිළිබඳව ද ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇතත්, එම පළා යෑම් තවමත් තහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
නේපාල හමුදාව ඊයේ(09) රාත්‍රී 10 සිට ආරක්ෂක මෙහෙයුම් භාරගත් බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
ඇතැම් කණ්ඩායම් දුෂ්කර තත්ත්වයෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගනිමින් සාමාන්‍ය පුරවැසියන්ට සහ පොදු දේපළවලට දැඩි හානි සිදු කරමින් සිටින පසුබිමකයි එරට හමුදාවට මෙහෙයුම් කටයුතු පැවරීමට තීරණය කර ඇත්තේ.
පසුගියදා (06) ෆේස්බුක්, වට්ස් ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා 26ක් සඳහා පිවිසීම, භාවිතය නේපාල පාලනාධිකාරිය විසින් තහනම් කරනු ලැබූවා.
මෙම තහනමත් සමගින් කුපිත වූ නේපාලයේ තරුණ පිරිස් රජයට සහ අගමැතිවරයාට එරෙහිව විරෝධතාවක් ක්‍රියාත්මක කළ අතර එහිදී 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100ට අධික පිරිසක් රෝහල් ගත කළා.
විරෝධතා සහ ප්රචණ්ඩ ක්‍රියා හමුවේ නේපාල කැබිනට් මණ්ඩලය පෙරේදා (08) තීරණය කළේ පනවා තිබූ සමාජ තහනම ඉවත් කිරීමටයි.
සමාජ මාධ්‍ය තහනමට එරෙහිව ආරම්භ කළ විරෝධතාව මේ වන විට ආණ්ඩුව ඉවත් කරවීමේ විරෝධතාවයක් බවට පත්වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
කෙසේවෙතත් ඇතිවූ විරෝධතා සහ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නේපාල අග්‍රාමාත්‍ය කේ. පී. ෂර්මා ඔලි ඊයේ (09) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමටයි කටයුතු කර ඇත්තේ.
බලධාරීන් විරෝධතාකරුවන් සමග කටයුතු කළ ආකාරය පිළිබඳව අතෘප්තිය පළ කරමින් කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍ය රාම් නාත් අධිකාරි ඉල්ලා ද මීට පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා