මත්තල ගුවන්තොටුපොළට ප්ලෙන් ගෙන්වන්න තව වසර කිහිපයක් ගත වෙයි – ඇමති බිමල්

මත්තල ගුවන්තොටුපොළට ප්ලෙන් ගෙන්වන්න තව වසර කිහිපයක් ගත වෙයි – ඇමති බිමල්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන්යානා පැමිණෙන තත්ත්වයට පත්කිරීමට තවත් වසර කිහිපයක් ගතවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ඔහු පෙන්වාදෙන්නේ ගුවන්තොටුපොළ වර්තමානයේ තිබෙන තත්ත්වයෙන් පවත්වාගෙන යාම තුළින් රජයට අමතර වියදමක් දැරීමට සිදුව ඇති‍ බවය.

අමාත්‍යවරයා ඊයේ (10) එම ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මේ බව පැවසීය.

“අපි උත්සාහ කරනවා මත්තල ගුවන්තොටුපොළට ප්ලෙන් ගෙන්වන්න පුළුවන් මට්ටමට ගොඩනගන්න. අපි හිතන්නේ නෑ අවුරුද්දකින් දෙකකින් ඉතාම ඉහළ මට්ටමට ගන්න පුළුවන් කියලා.

නමුත් මේ ගුවන්තොටුපොළ තිබීම නිසා අපට විශාල වියදමකුත්, ණයකුත් තියෙනවා.

ඒ වගේම ලංකාවට විකල්ප ගුවන්තොටුපොළක් අවශ්‍යයි. ඒ සඳහා මේක අපට අමතර වාසියක් වෙලා තියෙනවා.

දැනට අපි සාකච්ඡා කරගෙන යන දේ තමයි ගුවන්යානා ගෙන්න ගැනීම පිළිබඳව. ඒක විශාල කාරණයක්. ඒකට නිසි අයෝජකයන් ගෙන්න ගන්න ඕනි. එතනදී මේ බිස්නස් එක කරන්න පුලුවන් අය නැතුව, තියෙන එක ගලවන අය නෙවෙයි.

මේ අතර ප්ලේන් අලුත්වැඩියා කරනවා වගේ ව්‍යාපාර කරන්න පුළුවන්.

ගුවන්තොටුපොළේ විශාල ඉඩකඩක් තිබෙන නිසා ගුවන් පථයෙන් පිට ප්‍රදේශවල සෝලා පැනල් වගේ ව්‍යාපාරයන්ට යන්න යෝජනා කරලා තියෙනවා.

මේක ඇත්තටම ව්‍යාපාරික සැලැස්මකින් තොරව හදපු ගුවන්තොටුපොළක්. ණය කන්දක් ගොඩගැහිලා තියෙනවා. ඩොලර් මිලියන 260ක ණයක්. 2030 වෙනකම් ගෙවන්න තියෙනවා. කටුනායකින් උපයන ධනය මෙතෙන්ට ගෙනත් දානවා. මුදල් නාස්තියක් සිදුවෙනවා. මේක පාළු ගුවන්තොටුපොළක්” යැයි පැවසීය.

COMMENTS