නාසි නඩු විභාගය: 100 හැවිරිදි නාසි භටයෙකු ජර්මනියේ අධිකරණයට

දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර 76කට පසු, බර්ලිනයට තදාසන්නව පිහිටි සැක්සන්හවුසන් රැඳවුම් කඳවුරේ සිරකරුවන් 3,518 දෙනෙකු ඝාතනය කිරීමට ආධාර කළේයැ යි චෝදනා ලැබූ එම කඳවුරේ හිටපු ආරක්ෂක භටයෙකුගේ නඩුව විභාගයට ගැනුනි.

‘ජෝසෙෆ් එස්’ වෙත එල්ල වී ඇති චෝදනාවන් වන්නේ සෝවියට් යුධ සිරකරුවන්ට වෙඩි තැබීමට දායක වීම සහ සයික්ලෝන් බී විෂ වායුව යොදා අනෙකුන් ඝාතනය කිරීම යි. 

නාසි යුගයේ අපරාධකරුවන් යුක්තිය ඉදිරියට පැමිණවීමට ඇති කාලය සෙමෙන් ගෙවී යමින් පවතින අතර, ජෝසෙෆ් එස් යනු මෙතෙක් නඩු විභාගයට ඉදිරිපත් වූ වයස්ගතම නාසි විත්තිකරුවා වේ.

පහළ මට්ටමේ නාසීන්ට විරුද්ධව නඩු විභාගයන් කැඳවීම ආරම්භ වූයේ ද මෑතක දී ය.

වසර දහයකට පෙර, හිටපු SS ආරක්ෂක භට ජෝන් ඩෙම්යාන්යූක් නඩු විභාගයකින් වරදකරු බවට පත්කිරීමෙන් ලබා දුන් පූර්වාදර්ශය, දෙවන ලෝක යුද සමයේ දී නාසි අපරාධයන්ට සහාය දැක්වූ සහ අනුබල දුන් තැනැත්තන්ට එරෙහිව නඩු පැවරීම සඳහා පැමිණිල්ලේ නීතීඥයන් වෙත බලය ලබා දුන්නේ ය. එතෙක්, යමෙකු නාසි මිනීමැරුමකට සෘජුව සහභාගී වූයේයැ යි ඔප්පු කළ යුතුව තිබුණි. 

ජර්මානු පෞද්ගලිකත්ව නීතිය නිසාවෙන් ‘ජෝසෙෆ් එස්’ යනුවෙන් හඳුන්වනු ලබන විත්තිකරු, බ්‍රැන්ඩන්බෝග් අන් ඩ හාවල්හි බන්ධනාගාරයක් තුළ දැඩි ආරක්ෂාව මධ්‍යයේ නඩුව විභාග කිරීම සඳහා විශේෂ වෙනස්කම් සිදුකළ ක්‍රීඩා ශාලාවකට ගෙනයනු ලැබුණි. 

රෝද පුටුවකින් අධිකරණ ශාලාව වෙත පැමිණි ඔහු බ්‍රීෆ්කේසයක් තුරුළුකර ගෙන, ඇවිදීමේ ආධාරකයක උපකාරයෙන් ශාලාව තුළට පිවිසෙනු දක්නට ලැබුණි. ඡායාරූප ශිල්පීන්ගෙන් සිය මුහුණ වසන්කර ගනුවස් ඔහු නිල් පැහැ ලිපිගොනු කවරයකින් මුහුණ ආවරණය කරගෙන සිටියේ ය. 

වසර ගණනාවක් තිස්සේ යතුරු නිපදවන්නෙකු වශයෙන් බ්‍රැන්ඩන්බෝග් ප්‍රදේශයේ විසූ ජෝසෙෆ් එස්, සිය නඩු විභාගය පිළිබඳ කිසිදා ප්‍රසිද්ධියේ කතා නොකළ අයෙකි.

ඔහුගේ නීතිඥවරයා වූ ස්ටෙෆාන් වෝටර්කාම්ප් අධිකරණයට ප්‍රකාශ කළේ, නඩු විභාගයේ දී විත්තිකරු තමාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිවක් නොපවසනු ඇතිබව යි. කෙසේ වෙතත්, ඔහු තමා මුහුණ පා සිටි තත්ත්වය පිළිබඳව සිකුරාදා නඩු විභාගයේ දී පවසනු ඇතැ යි නීතිඥවරයා කියා සිටියේ ය.

1942 දී සැක්සන්හවුසන් රැඳවුම් කඳවුරේ ආරක්ෂක භටයෙකු වශයෙන් සේවයට එක්වෙද්දී ජෝසෙෆ් එස් විසි එක්වැනි වියේ පසුවිය. දැන් 101 වැනි වියට ආසන්නයට පැමිණ සිටින ඔහුට දිනකට පැය දෙකහමාරක කාලයක් දක්වා උසාවියේ පෙනී සිටීමට හැකියැ යි සැලකේ. ඔහුගේ නඩු විභාගය ජනවාරි මාසය දක්වා පැවැත්වීමට නියමිත ය.