හදිසි හෘද සැත්කම් හැර අනෙක් සියලු සැත්කම් නැවතේ ?

හදිසි හෘද සැත්කම් හැර අනෙක් සියලු සැත්කම් නැවතේ ?

රට තුළ උග්‍රව ඇති තෙල් ගැටලුව හේතුවෙන් ඉදිරියේ දී හදිසි හෘද සැත්කම් පමණක් සිදු කිරීමට සිදුවන බව කොළඹ ජාතික රෝහලේ හෘදරෝග අංශයේ විශේෂඥ වෛද්‍ය එම්.එන්. ජසීල් ප්‍රකාශ කර තිබේ.

හෘද රෝග වෛද්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මාලික ද සිල්වා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙලෙස හෘද රෝග සැපයුම් කප්පාදු කිරීමට හේතුව වන්නේ රෝහලේ තුළ පවතින දැඩි ඖෂධ හා පරිභෝජන ද්‍රව්‍ය හිඟය බවයි.

වෛද්‍ය ජසීල් පෙන්වා දෙන්නේ මෙම ගැටලුව සම්බන්ධයෙන් පසුගිය ජුනි මස 04 වැනිදින දැනුම්වත් කළ ද තවදුරටත් මෙම හිඟය සමග සේවා කටයුතු ඉදිරියට ගෙන යාම අපහසු බවයි.

ඉන්ධන ලබා ගැනීමේ දී පවා සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් යැයි පැවසුවද වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය අංශ නිලධාරින් හට රෝහල් වෙත පැමිණීමට අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීම ප්‍රමාද මට්ටමක තිබෙන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

ඉන්ධන පෝලිම්වල සෞඛ්‍ය අංශ නිලධාරින් හට බොහෝ අවස්ථාවලදී පැය 6ත් 10ත් අතර කාලයක් වැය කිරීමට සිදු වීම හේතුවෙන් මින් ඉදිරියේදී සෞඛ්‍ය සේවා කටයුතුවලට රෝහල් සඳහා පැමිණිය යුතු සිය කනිෂ්ඨ නිලධාරි මණ්ඩලයේ සිට ජ්‍යේෂ්ඨ නිලධාරි මණ්ඩලය දක්වා සේවක කප්පාදුවක් ද සිදු කරන බව වෛද්‍ය ජසීල් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.