අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර් ග පිළිබඳ වාර් තාවක් අධිකරණය ඉල්ලයි

අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රජය විසින් මේ දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අමාත්‍යවරයා ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය විසින් අද නියම කර තිබෙනවා.
මෙම කරුණට අදාළව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක්, මෝසමක් මාර්ගයෙන් සලකා බැලීමෙන් අනතුරුව, දමිත් තොටවත්ත සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගත යුතු යෝජනා මාලාවක් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් වගඋත්තරකරුවන් වෙත ඉදිරිපත් කළත්, ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නොමැති බවත්, ඒ අනුව අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට දැනුම් දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම මෝසම ගොනු කර තිබුණා.
පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් ඉදිරිපත් කළ එම මෝසම වෙනුවෙන් නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ දැක්වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, අලි මිනිස් ගැටුම අවම කිරීම සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසකට නියෝග කර තිබෙනවා.

