ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ අනවසර ඉදිකිරීම පිළිබඳ නඩුව 16 කැඳවයි

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නියෝගයට එරෙහි පෙත්සම දෙසැම්බර් 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.
එම විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස ස්වාමින් වහන්සේ ගොනුකළ මෙම පෙත්සම අද (19) කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා පැවසුවේ විහාරස්ථ භූමිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානයක් බවයි.
ඉකුත් ජූලි මස 18 වනදා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලිපියක් එවමින් අදාල ඉඩමේ අනවසර ඉදිකිරීම කඩා ඉවත් කිරීමට නියෝග කර ඇති බව ඔහු පැවසුවා.
ඊට එරෙහිව සිය සේවාදායකයා පරිසර අමාත්‍යශ ලේකම් වෙත වෙරළ සංරක්ෂණ පනත ප්‍රකාරව අභියාචනා ඉදිරිපත් කළත් එය නිෂ්ප්‍රභ කෙරුණු බවත් නීතිඥවරයා සඳහන් කළා.
විහාරාධිපති හිමියන්ට සවන් දීමකින් හෝ කරුණු විමසීමකින් තොරව අභියාචනය නිෂ්ප්‍රභ කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවටත් නීතිඥවරයා චෝදනා කළා.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා එහිදී පැවසුවේ අදාල විහාරස්ථාන භූමිය සඳහා අනුමත සැලසුමක් තිබෙන බවයි.
එම සැලසුමට ඔබ්බෙන් ගොස් නව ඉදිකිරීම් සිදුකිරීම නීතියට පටහැනි බවත් ඔහු පැවසුවා.
එවැනි ඉදිකිරීම් ඉවත් කිරීමට වෙරල සංරක්ෂණ පනත යටතේ වගඋත්තරකරුවන්ට බලය තිබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.
මෙහිදී විනිසුරු ධම්මික ගනේපොල මහතා පෙන්වා දුන්නේ මෙම ගැටලුව සාමකාමී ආකාරයෙන් විසඳා ගැනීම සුදුසු බවයි.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ ස්ථානයට යොමු කොට එම භූමියේ ඉදිකිරීම් පිළිබඳ අධ්‍යයනය කර එහි යම් ගැටළුවක් තිබෙනවා දැයි සොයා බැලීම යෝග්‍ය බව මෙහිදී විනිසුරුවරයා පාර්ශවකරුවන්ට යෝජනා කළා.
ඒ අනුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ භූමිය යලි පරික්ෂා කර ඊට අදාළව නිරීක්ෂණ ලබාගැනීමටත් ඉන්පසුව ඉදිරි පියවර සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමටත් එහිදී දෙපාර්ශවය එකඟතාව පළ කළා.
මෙහිදී විනිසුරුවරු දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ මෙම කටයුතු අවසන් වන තුරු පාර්ශව කරුවන් අනවශ්‍ය ගැටලුවලට මැදිහත් නොවී සාමය ආරක්ෂා කර ගැනීමට වගබලා ගත යුතු බවයි.
එවැනි කටයුතු හරහා යම් අවාසනාවන්ත සිද්ධියක් මතුවුනොත් ඒ තුළින් රටට විශාල හානියක් සිදුවන බවත් මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා දෙපාර්ශවයේ නීතිඥවරුන්ට පෙන්වා දුන්නා.
ඒ අනුව අදාල පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 16 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය එදිනට දැනුම් දෙන ලෙසත් පාර්ශව කරුවන්ට නියෝග කළා.

