අපේ රජය බලයට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කරන්න

අපේ රජය බලයට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කර නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමට බවඅධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ යුක්තිය පසිඳලීමේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 202 ක මුදලක් වැය කරමින් අභිනවයෙන් ඉදි කරන ලද පුත්තලම නව අධිකරණ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ සඳහන් කළේය.
පුත්තලම නව අධිකරණ ගොඩනැගිල්ල ඉදි කිරීමේ කාර්යයට දායකත්වය ලබාදුන් සියලු දෙනාට කෘතවේදීත්වය පළ කරනු ලබනවා. ලෝකයේ දියුණු රටවල්වල ජනතාවගෙන් මිලියනයකට විනිසුරුවරුන් හතළිහක් හෝ හැටක් ඉන්නවා. නමුත් අපේ රටේ මිලියනයකට ඉන්නේ විනිසුරුවරුන් 19 දෙනෙක් පමණයි. නඩු ප්‍රමාදයට මෙම තත්වයන් හේතුන් බවට පත්ව තිබෙනවා. නඩු ප්‍රමාදය අවම කිරීමේ ක්‍රියාවලියේදී විනිසුරුතුමන්ලා විශාල කාර්යභාරයක් සිදු කරනවා. පසුගිය කාලයේ සිදු වු ආර්ථිකයේ බිඳ වැටීමත් සමඟ සියලු ක්ෂේත්‍රයන් කඩා වැටුණා. නතර වු තිබු සියලු ක්ෂේත්‍රවල කටයුතු අපේ රජය බලයට ඇවිත් නැවත ආරම්භ කරනු ලැබුවා.
අපිට භාර ගන්න සිදු වුණේ කඩා වැටුණු රටක් බව ඔබ සියලු දෙනා දන්නවා. පවතින ක්‍රමවේදයන් අනුව ඉදි කිරීම් කටයුතුවලදී ප්‍රමාදයන් සිදු වෙනවා. වෙසක් කූඩු පහක් ගත්තත් තට්ටු පහක ගොඩනැගිල්ලක් ඉදි කරනු ලැබුවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව කටයුතු කළ යුතුයි. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතනවල පුරප්පාඩු 6021 ක් පැවතුණා. ඉන් 1024 ක් බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා. වත්මන් රජය මහජනතාවගේ බදු මුදල්වලට බරක් වෙන්නේ නැහැ. අපේ රජය බලයට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කර නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමටයි. එ් වෙනුවෙන් සිදු කළ යුතු සියලු පියවර ගන්නවා. පුත්තලම කාති අධිකරණය සඳහා විනිසුරුවරයෙක් ලබාදීමට සහ කල්පිටිය අධිකරණ ගොඩනැගිල්ලේ ඉදි කිරීම් කඩිනම් කිරීමට කටයුතු කර තිබෙනවා. අධිකරණ කටයුතු වෙනුවෙන් යටිතල පහසුකම් සැපයීම අධිකරණ අමාත්‍යාංශය සිදු කළත් ඒ ඒ පළාත් වෙනුවෙන් අධිකරණ ස්ථාපිත කිරීමේ කාර්ය සිදු කරනු ලබන්නේ අධිකරණ සේවා කොමිසම් සභාවයි. 2022 වසරේදී සුළු හිමිකම් අධිකරණ හඳුන්වාදී තිබුණත් දැනට සුළු හිමිකම් අධිකරණ ස්ථාපිත කර ඇත්තේ මාතර සහ මහනුවර පමණයි. ඒ අනුව සුළු හිමිකම් අධිකරණයක් වෙනුවෙන්ද පහසුකම් මෙම අධිකරණ ගොඩනැගිල්ල තුළ ස්ථාපිතයි. 2023 අංක 29 දරණ සිවිල් නඩු විධාන සංග්‍රහයට කළ සංශෝධනය මඟින් පුර්ව නඩු විභාග ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවා. එම පුර්ව නඩු විභාග අධිකරණයක් ස්ථාපිත කිරීමේ පහසුකම්ද මේ ගොඩනැල්ල තුළ පවතිනවා.
අද දින විවෘත වන පුත්තලම අධිකරණ ගොඩනැගිල්ලේ ඉදි කිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 202 ක මුදලක් වියදම් කර තිබෙනවා. අධිකරණ පද්ධතිය තුළ යටිතල පහුසකම් ඇතුළු ගැටළු තිබෙනවා. මේ ගැටළු අර්බුද රටේ සෑම ක්ෂේත්‍රයකම පවතින බව සඳහන් කළ යුතුයි. ආර්ථික අර්බුදය පැවති කාල සීමාව තුළ රට හැරදමා විදේශ ගත නොවීම පිළිබඳ විනිසුරුතුමන්ලාට නීතිඥ මහත්ම මහත්මීන් ඇතුළු වෘත්තිකයින්ට ස්තූතිවන්ත විය යුතුයි. අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම අධිකරණ අමාත්‍යවරයා වශයෙන් මගේ රාජකාරියයි. අපේ රජය පවතින තුරු මේ රටේ පුරවැසියන්ට වෘත්තිකයින්ට තම රාජකාරිය සිදු කිරීමට අවශ්‍ය පහසුකම් නිසි පරිදි ලබා දෙනවා. අධිකරණ ගොඩනැගිලි ඉදි කිරීමේදී ජනතාවට යුක්තිය පසිඳලීමේ කාර්යය සඳහා පිවිසීමට ඇති හැකියාව සලකා බැලිය යුතු බවද අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේය.