ත්‍රිවිල් කොල්ලකෑ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

ත්‍රිවිල් කොල්ලකෑ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

ත්‍රිරෝද රථ කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (21) කහතුඩුව පොලිස් වසමේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 700 ක් හා හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 300ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී මොවුන් කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථවල ගමන්කර රියදුරන්ගේ මුහුණුවලට මිරිස්කුඩු ගසා එම ත්‍රිරෝද රථ කොල්ලකෑම් සිදුකර ඇති බව අනාවරණය වී ඇති අතර එක් සැකකරුවෙකුගේ බිරිඳක්ද මෙම කොල්ලකෑම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 24, 27 ක් වූ කලවාන හා කහතුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරිය වයස අවුරුදු 29ක් වූ කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මොවුන් විසින් කහතුඩුව, බොරලැස්ගමුව හා මොරගහහේන පොලිස් වසම්වලදී මෙලෙස ත්‍රිරෝද රථ කොල්ලකා ඇති අතර කොල්ලකන ලද ත්‍රීරෝද රථ 04ක් ද නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

COMMENTS