අයහපත් කාලගුණයෙන් පවුල් 4,786ක් පිඩාවට

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය 15 වැනිදා සිට ඊයේ (19) පස්වරු 6.00 වන විට දිස්ත්‍රික්ක 07ක පවුල් 4,786ක පුද්ගලයන් 19, 234ක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
රත්නපුර, කෑගල්ල, අනුරාධපුර, මහනුවර, ගාල්ල, කළුතර, පුත්තලම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25ක ජනතාව මෙසේ බලපෑමට ලක්ව තිබේ.
තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 03කි. අර්ධ නිවාස හානි 32කි. පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පීඩාවට පත් පිරිස් සුරක්ෂිත මධ්‍යස්ථාන 04ක රඳවා පිසු ආහාර ලබා දේ. පවුල් 340ක පුද්ගලයන් 1,140ක් එම පිරිසට අයත් වේ.
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකිය මඟින් කියා සිටී. අද (20) පෙරවරු 8.30 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනය නිකුත් කර තිබේ.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි දිනවලදී අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාපාල මහත්මිය ප්‍රකාශ කළාය.
වර්ෂාව හේතුවෙන් ඇති විය හැකි ආපදා තත්ත්වයන්ගෙන් ජනතාව මුදා ගැනීමට ආපදා කළමනාකරණ අංශ දැනුම්වත් කර ඇති බව ද එහි අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. ඕනෑම හදිසි ආපදා තත්ත්වයකදී 117 දුරකතන අංකයට අමතන ලෙස ද ඔහු ඉල්ලා සිටී.
පවතින අධික වර්ෂාව හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ නාගරික ප්‍රදේශවල ක්ෂණිකව මහා මාර්ග යටවීම්, ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බවට අනතුරු අඟවන වාරිමාර්ග අධ්යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්. පී.සී. සුගීස්වර මහතා මීට පෙර එවැනි තත්ත්වයන්ට මුහුණ දුන් ජනතාව ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වීම වැදගත් බව ද සඳහන් කළේය. පෙරේදා (18) පස්වරු 6.00 සිට ඊයේ (19) පෙරවරු 10.00 දක්වා කාලයේ රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය කොට්ඨාස හතරක් තුළ තද වැසි, තද සුළං, ගස් කඩා වැටීම් හේතුවෙන් පවුල් හතරක පුද්ගලයන් 17 දෙනක් බලපෑමට ලක් වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. අර්ධ නිවාස හානි තුනකි.
ඊයේ (19) පස්වරු 12.30 වන විට අත්තනගලු ඔයේ ජල මට්ටම දූණමලේ ප්‍රදේශයෙන් අනතුරුදායක මට්ටමක පැවතිණි.
මේ අතර නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් වැසි තත්ත්වය වැඩිවී ඇති බැවින් ගංගා ඇළ දොළ සහ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් ඒවා පරිහරණයේදී සැලකිල්ලෙන් හා අවධානයෙන් කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කැලණි, කළු, ගිං, නිල්වලා, බෙන්තර ආදී ගංගා සහ අත්තනගලු ඔය, මහ ඔය ඇතුළු ජලාශවල ඉහළ ජල මට්ටමක් වාර්තා වන බවත් වාරිමාර්ග අධ්යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එස්. පී. සී. සුගීස්වර මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම අත්තනගලු ඔයේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව ද ඒ මහතා පැවසීය. වැසි තත්ත්වය වැඩිවුවහොත් සෙසු ගංගා සහ ඇළදොළ ආශ්‍රිතව ගංවතුර ඇතිවීමේ අවදානම් තත්ත්වයක් පවතින බවද වාරිමාර්ග අධ්යක්ෂවරයා පැවසිය.
රත්නපුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නවයකට පළමු නාය අවදානම් නිවේදන නිකුත් කරයි.
මේ දිනවල කඩින් කඩ ඇද හැලෙන තද වැසි සමඟ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල, අයගම, බළන්ගොඩ, ඉඹුල්පේ, කලවාන, ඇලපාත, ප්‍රදේශවලට නාය අවදානම් පළමු අදියරේ නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු හා භූ විද්‍යාඥ අභිත වනසුන්දර මහතා පැවසීය.
මීට පෙර අවස්ථාවක නාය යෑමට ලක් වූ කුරුවිට, පත්බේරිය වැටුම්වල ප්‍රදේශයේ නාය අවදානම් ස්ථානයේ තිබූ පැළුම් පළල් වී ඇති බැවින් එම ස්ථානය අවදානම් ප්‍රදේශයක් බවට හඳුනාගෙන ඇති බවත්, ඊයේ (19) සහ අද (20) දෙදින වර්ෂාවේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින් නාය අවදානම් සහිත ස්ථාන ආසන්නයේ පදිංචි ජනතාව ඒ සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත්ව සිටිය යුතු බව ද, බොර දිය පහරවල් ගලා යෑමක්, ගස් ඇලවීමක්, පොළොවේ පැළුම් ඇති වීමක් වැනි නාය අවදානම් ලක්ෂණ දුටුවොත් වහා එම ස්ථානවලින් ඉවත්ව ඒ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනයට හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැන්වීමට කටයුතු කළ යුතු බව ද මේ ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියහ.