විදුලි ගාස්තු යළි ඉහළ යන ලකුණු

විදුලි ගාස්තු යළි ඉහළ යන ලකුණු

විදුලි ගාස්තු යළිත් වරක් ඉහළ දැමීමේ යෝජනාවට අදාළව මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ පසුගිය මාස තුනට අදාළ ආදායම් වාර්තා ඉල්ලා තිබෙනවා.

ඒ අනුව ලබා දී ඇති ආදායම් වාර්තාවලට අනුව දැක්වෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායමේ ක්‍රමික පහළ යාමක්.

කෙසේ වෙතත් යළිත් විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා උපයෝගීතා පනත ප්‍රකාරව මහජන අදහස් ලබා ගැනීම සම්පූර්ණ කළ යුතු බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

මෙම මස පළමුවැනිදා සිට විදුලි ගාස්තු යලිත් වරක් ඉහළ දැමිම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් සිදුකර තිබුණා.

ඒ් පසුගිය ජූලි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා වූ කාලවකවානුව තුළ සිය ඇස්තමේන්තුගත වියදම් ඉහළ යාම හේතුවෙන්.

ඒ සඳහා බලපා ඇති කරුණු ලෙස ඔවුන් දක්වා තිබුණේ ජල විදුලියෙන් සහ ගල් අඟුරුවලින් විදුලිය උත්පාදනය පහළ යාම සහ විදුලි ඉල්ලුම ඉහළ යාමයි.

මෙම විදුලි ගාස්තු ඉහළ දැමිමේ යෝජනාවට අදාලව මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයෙන් පසුගිය ජූලි , අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලට අදාල ආදායම් වාර්තා කැඳවා තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ එම ආදායම් වාර්තාවලට අනුව පසුගිය ජූලි මස රුපියල් මිලියන 55,163 ක්ව පැවති ආදායම පසුගිය අගෝස්තු මාසය වනවිට රුපියල් මිලියන 53,193ක් දක්වා පහත බැස ඇති බව සඳහන්.

පසුගිය සැප්තැම්බර් මාසය වනවිට එම ආදායම රුපියල් මිලියන 50,590ක් දක්වා තව දුරටත් පහත බැස ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමුකළ වාර්තාවේ දක්වා ඇත්තේ.

ආකාර දෙකකින් විදුලි ගාස්තු ඉහල නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති අතර එහි පළමු යෝජනාව ලෙස දැක්වෙන්නේ 22%කින් විදුලි ගාස්තු ඉහළ දැමීමටයි.

දෙවන ගාස්තු සංශෝධන විකල්පය ලෙස සෑම කාණ්ඩයක් සඳහාම දැනට පවතින ඒකක ගාස්තුව රුපියල් 8කින් වැඩි කිරීමටයි ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබෙන්නේ.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය ඉල්ලීම්කර ඇති ආකාරයට විදුලි ගාස්තු ඉහළ දැමීම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදීම සඳහා උපයෝගිතා පනත ප්‍රකාරව ජනතාවගේ අදහස් ලබාගැනීම සඳහා දින 21ක කාලයක් ලබාදී ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ.