ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද (08) දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවයි.

එමෙන්ම වයඹ පළාතේ සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වෙන බවත් සඳහන්.

ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන තද සුළං පැ.කි.මී. 40-45ක අගයක් ගත හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

COMMENTS