පළාත් කිහිපයකට අදත් වැසි

පළාත් කිහිපයකට අදත් වැසි

නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මි. 100ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බවද සඳහන්.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවදාරනය කරන්නේ.

එමෙන්ම දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

COMMENTS