ජනපති සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක

ජනපති සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා අද (23) අළුයම දිවයිනෙන් පිටත්ව ගියා.

සිය එක්දින සිංගප්පූරු සංචාරයේ දී ජනාධිපතිවරයා එරට නීතිය හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අනතුරුව 24 වනදා සිට 27 දක්වා සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ ජපාන නිල සංචාරයේ දී එරට අග්‍රාමාත්‍ය Fumio Kishida සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳවත්, කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවත් එහිදී අදහස් හුවමාරු කරගනු ඇති.

එමෙන්ම ජපාන විදේශ Yoshimasa Hayashi, මුදල් අමාත්‍ය Shunichi Suzuki මෙන්ම ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය Taro Kono යන මහත්වරුන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 25 සහ 26 දෙදින ටෝකියෝ නුවර පැවැත්වෙන “ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව (Nikkei) ඇමතීමට නියමිතයි.

ආසියාවේ අනාගතය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව යනු ආසියා පැසිෆික් කලාපයේ දේශපාලන, ආර්ථික සහ කලාපීය ගැටළු හා ලෝකයේ ආසියාවේ භූමිකාව පිළිබඳව කලාපයේ නායකයන් එක්ව අදහස් හුවමාරු කර ගන්නා ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමුළුවක් වනවා.

අනතුරුව ජපාන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කවුන්සිලය, ජපානයේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ ජපාන – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමග ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා පවත්වනු ඇති.

COMMENTS