නිළි රැජින මාලිනි ෆොන්සේකාගේ උපන්දිනය අද

නිළි රැජින මාලිනි ෆොන්සේකාගේ උපන්දිනය අද

හෙළ සිනමාවේ නිළි රැජින, මාලිනි ෆොන්සේකාගේ උපන්දිනය අදයි.

මේ ඇයගේ උපන්දිනය වෙනුවෙන් ලියවුණු සටහන් අතර දයාන් විතාරණයන් තැබූ ආදරණීය සටහනකි….

“පුන්චි බබා” සෙනෙහසින් තුරුලට ගෙන සිනමා රාජධානියට සැපත්ව එහි අග්‍ර රාජිණිය වු රජතමය මහේෂිකාව වන මාලනී ෆොන්සේකා නම් සිනමාවතංස සිරිමතියට සුබ උපන්දිනයක් වේවා………..!

හෙළ සිනමාවේ නිළි රැජින වන ආචාර්ය මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා හෙවත් අප ආදරණීය මාලිනී අක්කා අද දින සිය උපන්දිනය සමරන්නීය.

ලෝක සිනමාවට ද අභියෝග කළ හැකි දෙස් විදෙස් සිනමාලෝලීන්ගේ ආදරය එකලෙස එදාමෙදා තුර විඳින්නට වරම් ලද ලාංකේය නිළි රැජින ලෙසින් කිරුළ පැළැඳි ඇය, “නොරථ රථ” හි උදුම්බරා ලෙසින් වේදිකාවෙන් ඇරඹූ රූපණ චාරිකාව අද වන විට කොතෙක් නම් සම්මානනීය ගමන් මගක් දක්වා විකාශනය වී ඇතිදැයි සිතාගත නොහැකිය. තිස්ස ලියනසූරියන්ගේ “පුංචි බබා” චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූ ඇය “නිධානය”, “බඹරු ඇවිත්”, “සොල්දාදු උන්නැහේ”, “බැද්දෙගම”, “තුෂාරා”, “කවුද රජා”, “සුසී”, “සිරිපාල සහ රන්මැණිකා”, “ආරාධනා”, “එක්ටැම්ගේ”, “සත්වෙනි දවස”, “වසන්තයේ දවසක්”, “ස්ත්‍රී”, “සසර චේතනා”, “ආකාස කුසුම්”, “අබා”, “සරිගම” වැනි චිත්‍රපට ගණනාවක එකිනෙකට වෙනස් අපූරු සම්මානිත චරිතාවලියක් රංගනය කළාය. අදටත් විශ්‍රාම නොලබා සක්‍රීයව රංගනය කරන ඇය මුළු සිනමාවට ම චින්තා මාණික්‍යයකි.

ඇය රංගනවේදිනියක ලෙස මේ මුළු ලෝකයම දිනා හමාර ය. ඈ නොලැබූ සම්මානයක්, පැසසුමක් හෝ බුහුමනක් නොමැති තරම් ය. වසර ගණනක් පුරාවට ඇය අඛණ්ඩව අප රටෙහි ජනප්‍රියම නිළිය ලෙසින් අදටත් ජනතා සම්මානිත ය. නමුත් ඒ සියල්ල අභිඹවමින් ඈ වටා ඇගේ පවුලේ පිරිස, හිතෛෂීන් මෙන්ම සුවහසක් රසිකයන් සිටින බව මාලිනී අක්කා හොඳින්ම දනී. ඇය එවැනි අබිසෙස් මෙන්ම ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන් මෙන්ම රෝග ව්‍යාධියෙන් ද පීඩා විඳි මුත් ඒ සියල්ල මහත් ආත්ම ශක්තියෙන් විඳගෙන නැගී සිටි අතිශය ශක්තිමත් චරිතයකි. එනිසා ඉකුත් වසරේ සිය සොයුරන්ගේ වෙන්වීම් කොතෙක් දුක්ඛදායක වුවත් අනෙක් පිරිස් පවා ශක්තිමත් ලෙස එම මොහොතේදී තනි නොකර රැක බලාගන්නට තරම් ඇය ශක්තිමත් වූවාය.

මා මුල්වරට මාලනී අක්කා ඡායාරූප ගනු ලබන්නේ “මධුසමය” චිත්‍රපටය කොළඹදී රූගත කෙරෙන මොහොතක ය. එදින මා නොදන්නා මුත් ඇය ඉතා නිහතමානීව මගේ ඡායාරූප හැඩ කළාය. ඉන්පසුව 1994 වසරේ මුල්වරට මගේ චිත්‍රාගාරයට පැමිණ ඡායාරූප ගත් ඇය, එදින පටන් මා වැඩිම වශයෙන් ඡායාරූප ගත කොට ඇති රංගන ශිල්පිණියක් යැයි කීමෙහි වරදක් නැත. ඒ තරමට කොතෙක් වතාවක් මා මාලනී අක්කාව ඡායාරූප කර ඇත්දැයි සිතෙන විට මා කෙතරම් නම් භාග්‍යවන්ත දැයි සිතේ. මෑතකදී වැඩි වශයෙන්ම සරසවිය පුවත්පත් කවර සැරසුණේ ද මවිසින් ගත් ඇගේ ඡායාරූපවලින් වන අතර එදා මෙන්ම අදටත් ඇය ඒ වෙනුවෙන් නිහතමානීව ස්තූතිවන්ත වන අයුරු දක්නා විට දැනෙන්නේ මහත් සෙනෙහසකි.

මාලිනී අක්කත් මමත් බක් මස උපන් දෙදෙනෙක් වන අතර බොහෝ විට අපේ සුවිසෙස් උපන්දිනයන් ද යෙදෙන්නේ එකම වසරවලදි ය. මා හතළිස් වෙනි වියට එළඹෙන වසරේ, මා ගායකයෙක් ලෙස අප්‍රේල් 30 වනදා “ඔබෙ සුසුම් පවන්” සංගත තැටිය එළිදක්වමින් දොරට වඩින විට, එදිනම සිය 55 වැනි උපන්දිනය සැමරූ මාලිනී අක්කා ද මගේ ප්‍රසංගයට පැමිණ මට සුබ පැතුම් එක්කළාය. එදින මා ඇයට මවිසින් ගත් ඡායාරූපයක් ද තිළිණ කළ අතර එහි ඡායාරූප ද මේ සමග ගෙන එමි.

2020 වසරේ ඇය සමග එකම චිත්‍රපටයක රඟපාන්නට තරම් ද මා භාග්‍යවන්තයෙකු වූවෙමි. මා “මොණරවිලක්” චිත්‍රපටයේ රංගනය කිරීමට කළ ආරාධනය එක සිතින් පිළිගත්තේ ද ඇය සමග රංගනය කිරීම නැමති දුර්ලභ භාග්‍ය නිසාවෙනි.

ඇය දෙස් විදෙස් සිනමාවේ, සිනමා ස්ත්‍රීත්වයෙහිලා ලෝකයෙන්ම ගරු පැසසුම් ලද සලකුණකි. එමෙන්ම නිළි රැජිනය ලෙස අදටත් ඇය නව පරපුරට ද සපයන අත්වැල ද සුළුපටු නොවේ. මේ වසරේ සුමති සම්මාන උළෙලද ඇයට සුවිශේෂී වන්නේ ඇගේම ඥාති දූවරුන් වන සමනලී හොඳම නිළිය ලෙස ද, සෙනාලි ජනප්‍රියම නිළිය ලෙස ද ඇගේ නෙත් මානයේම සම්මානිත වූ බැවිනි.

ගිය වසරේ ඇයගේ ජීවිතයේ සුවිශේෂී උපන්දිනයක් යෙදී තිබුණද, එම වකවානුව තුළ මගේ මුහුණුපොතේ ඇති වූ දෝෂයක් හේතු කොටගෙන ඇය වෙනුවෙන් කළ යුතුව තිබූ අති සුවිසෙස් උපන්දින සුබ පැතුම ගෙන ඒමට නොහැකි වීම කණගාටුවට කරුණකි.

කෙසේ වෙතත් ඇයගේ සුවිසෙස් වියේ ඡායාරූප ගැනීමට මට හැකියාව ලැබුණු අතර ඒ වන විට මාද මා ජීවිතයේ සුවිසෙස් වියක පසු වෙමින් සිටි බැවින් එම ඡායරූප වල වටිනාකම කියා නිම කළ නොහැක.

ආදරණීය මාලිනී අක්කෙ, ඔබට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් තවත් බොහෝ කාලයක් යෙහෙන් වැජඹෙන්නටත් සිනමාවේ වොරැදෙමින් දිලෙන්නටත් දිගාසිරි පතමි !!!

ආකාස කුසුමිය
සඳෙන් සඳ දිය දෙවූ සවුමිය ..
රිදී ආකාසේ
සරා සොඳුරුම සදා ප්‍රේමිය…
සේද පාරෙන් නැව් නැගී ගිය
ආසියාවේ ආශ්චර්යය ..//
නඳුන් උයනේ මල් නෙලා
මාලා ගොතන්නී මාලිනී
ආකාස කුසුමී…
අනුරාගයෙන් අනුරාව දෙන
මනෝ එක්ටැම් මාලිගා වල..//
පහන් දහසක් අවුලනා
රාජිනිය උන්මාදිනී
ආකාස කුසුමී…

ගායනය :- දයාන් විතාරණ
පද රචනය :- අසංක රුවන් සාගර
සංගීතය :- දර්ශන වික්‍රමතුංග

මේ අතර ඇයගේ උපන්දිනය වෙනුවෙන් තබන ආදරණීය සටහන් අතර, ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා තබන ලද සටහනක් මෙලෙස අපට දකින්න ලැබුණා.

ඈ සිය ලොකු නැන්දාට සුබපැතුම් එකතු කර තිබුණේ සොඳුරු ඡායාරූපයක් ද එක්කයි…

“සුබ උපන්දිනයක් ලොකු නැන්දා…! ආදරෙයි අපි ඔයාට…!”