ක්‍ෂය රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක්

ක්‍ෂය රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක්

රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍ෂය රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රත්නපුර ශික්ෂණ රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක පවසනවා.

ක්‍ෂය රෝගය වළක්වාගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ ක්‍ෂය රෝගය පිළිබඳ ජනතාව තුළ පවතින නොදැනුවත් භාවයද ඊට බලපා ඇති බවයි.

පසුගිය වසරේදී මෙරටින් ක්‍ෂය රෝගීන් 331 දෙනෙකු හමුව තිබෙනවා.

ඉන් 30 දෙනෙකු මියගොස් ඇති අතර, එය සියයට 10 ක පමණ ප්‍රතිශතයක් වීම අවධානයට ලක්විය යුතු කරුණක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව තුළ වසරකට ඇස්තමේන්තු ගත ක්‍ෂය රෝගීන් සංඛ්‍යාව 14,000 ක් පමණ වුවද ඉන් අනාවරණ කරගැනෙන්නේ රෝගීන් දස දහසක් පමණයි.

එලෙස රෝගීන් 4,000 ක පමණ ප්‍රමාණයක් වාර්තා නොවීමට ප්‍රධාන හේතුවක් වන්නේ නොදැනුවත්කම බවයි රත්නපුර ශික්ෂණ රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක ප්‍රකාශ කළේ.